පුහුණු ශ්‍රමය විදේශගත කිරීම ප්‍රවර්ධනයට ප්‍රධාන රාජ්‍ය ආයතන දෙකක් ගිවිසුම් අත්සන් තබයි

(කොළඹ, ලංකාපුවත්) –විදේශ රැකියා ක්ෂේත්‍රයට පුහුණු ශ්‍රමිකයින් යොමු කිරීම විධිමත් හා වේගවත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර සහයෝගිතා ගිවිසුමක් පසුගියදා අත්සන් කෙරිණ. වෘත්තීය පුහුණු අධිකාරිය වෙනුවෙන් එහි සභාපති දමිත් වික්‍රමසිංහ මහතා සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති කමල් රත්වත්තේ මහතා ගිවිසුමට අත්සන් තැබිණ.

රටේ ශ්‍රමබලකායෙන් 90% ක් පුහුණු ශ්‍රමිකයන් බවට පත් කිරීමත්, රැකියා සඳහා විදේශගත වන සියළු ශ්‍රමිකයන් පුහුණු ශ්‍රමිකයන් කිරීමත් ජනාධිපතිතුමන් රට හමුවේ තැබූ “සෞභාග්‍යයේ දැක්ම” ට අනුව යමින් පුහුණු ශ්‍රමිකයන් ජනිත කිරීමේ හා ශ්‍රමිකයන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ ප්‍රධානම රාජ්‍ය ආයතන දෙක මෙම නව ක්‍රියාමාර්ග අභිනවයෙන් ආරම්භ කර දියත් කිරීමට ගිවිසුම් ගතවිය.

ජාත්‍යන්තර ශ්‍රම වෙළඳපොල අවශ්‍යතාවය හඳුනාගැනීමත් ඒ අනුව පුහුණු ශ්‍රමිකයන් විදේශගත කිරීමේ වගකීම දරණ රාජ්‍ය ආයතනය වශයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයත්, දේශීය මෙන්ම ජාත්‍යන්තරයට ගැලපෙන පුහුණු ශ්‍රමිකයන් පුහුණු කිරීමේ ජාතික වගකීම දරණ ආයතනයක් වන ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය අතර ඇති කර ගන්නා අවබෝධතා ගිවිසුම මඟින් පහත කරුණු ඉටුකර ගැනීමට බලාපොරොත්තු වේ.

මෙහිදී ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය විසින් ඉදිකිරීම් ක්ෂේත්‍රය, මෝටර් රථ, විදුළි කාර්මික, පෑස්සුම් ශිල්පී සහ සාත්තු සේවක (Care giving) පාඨමාලා පැවැත්වීමට නවීන පහසුකම්, පුහුණු යෙදවුම් සහිත මධ්‍යස්ථාන 08 ක් ස්ථාපිත කර ඒ සඳහා අභ්‍යාසලාභීන් බඳවාගෙන පුහුණු කර, එම පුහුණුලාභීන් විදේශ රැකියා අවශ්‍යතා අනුව විදේශ රැකියා සඳහා යොමු කිරීමට බලාපොරොත්තු වේ. මෙමගින් ඔවුන්ගේ විදේශ රැකියා ඉපයීම් ඉහළ නංවා පවුල් නගා සිටුවීමටත්, ජාතික ආර්ථිකයට දායකත්වය දැක්වීමටත් අවස්ථාව ලැබෙනු ඇත. තවද ඔවුනට නිපුණතාවය ලබා දිම හැරුණු කොට එම රටවල් වලට අවශ්‍ය විදේශ භාෂා ප්‍රවීණතාවය ලබා දීමත් සිදු කෙරේ. එසේම විදේශ රැකියා සඳහා පාඨමාලාවල වෙනස් විය යුතු අංශ හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා ගැනීමට නව ගිවිසුම හරහා බලාපොරොත්තු වේ.

එසේම විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් විදේශ රැකියා අවස්ථා හඳුනා ගැනීම ඒ සඳහා අවශ්‍ය පුහුණුලාභීන්ට මගපෙන්වීම, අපගේ අධුනිකයන්ට විධිමත් විදේශ රැකියා සඳහා යොමු වන ආකාරය පිලිබඳව දිප ව්‍යාප්තව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, අනතුරුව පුහුණුලාභීන් කාර්යාංශයේ රැකියා බැංකුවෙහි ලියාපදිංචි වීමේ හැකියාව මෙන්ම විදේශ රැකියා අවස්ථා සඳහා යොමු කිරීමට, රැකියා වෙළඳපොල ප්‍රවර්ධනයට මෙම අවබෝධතා ගිවිසුම මඟින් වැඩිදුරටත් සිදු කරනු ලබයි.

ගිවිසුම්ගත වීමේ අවස්ථාවට කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩබ්.එම්.වී.වන්සේකර, වෘත්තීය පුහුණු අධිකාරියේ පුහුණු අධ්‍යක්ෂ ශාන්ති විජේසිංහ, කර්මාන්ත සබඳතා නියෝජ්‍ය අධ්‍යක්ෂ සමන්ත අතුකෝරල යන මහත්ම මහත්මීන් සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *