පසිඳු සුවකර ගන්න විදෙස් ප්‍රතිකාර දෙන්න සූදානම්

(කොළඹ, ලංකාපුවත්) –නවක සිසුන් පිළිගැනීම සඳහා පැවැති උත්සවයක් අතරතුර දී හිසේ ටයරයක් වැදීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහල් දැඩි සත්කාර එක්කයේ ප්‍රතිකාර ලබන පසිඳු හිරුෂාන් සිසුවා සුවකර ගැනීම සඳහා විදේශ රටකට ගෙනයෑමට හෝ වෙනත් ඕනෑම අවශ්‍යතාවක් සඳහා ඕනෑම මුදලක් ලබාදීමට විශ්වවිද්‍යාලය තීරණය කළ බව වැඩබලන උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට දුරකතනයෙන් අමතා දැනුම් දී ඇත.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙම සිසුවාගේ සහෝදරියට ද දුරකතනයෙන් අමතා අදාළ සිද්ධිය ගැන සහ සිසුවාගේ වත්මන් තත්ත්වය පිළිබඳව කරුණු විමසා ඇත.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන පසිඳු හිරුෂාන් සිසුවාගේ සුවදුක් සොයා බැලීම සඳහා තමා ඊයේ (10) කොළඹ ජාතික රෝහල වෙත ගිය බවත් එහිදී සිසුවා තමාට ප්‍රතිචාර දැක්වූ බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ප්‍රකාශ කෙළේය.

මේ අතර ඒ මහතා සඳහන් කළේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් දස දෙනෙකු පමණ ඊයේ (10) විශ්‍ව විද්‍යාල පරිශ්‍රයට පැමිණ මේ සිදුවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බවත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *