කොරෝනා වෛරසයට එරෙහි සියලු ක්‍රියාමාර්ග ජනතාවගේ සෞඛ්‍යය හා ආරක්ෂාව උදෙසායි

(කොළඹ, ලංකාපුවත්) – නව කොරෝනා වෛරසයට එරෙහි සියලු ක්‍රියාමාර්ග ගනු ලබන්නේ ජනතාවට ප්‍රශ්නයක් ඇති කිරීමට නොව ඇති විය හැකි අපහසුතාවන්ගෙන් ජනතාව මුදාගෙන ආරක්ෂිතව ජීවත් විය හැකි පරිසරයක් සැකසීමට බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

අගමැතිවරයා මෙසේ ප්‍රකාශ කළේ විශේෂ ප්‍රකාශකයක් කරමිනි. එම ප්‍රකාශය සම්පූර්ණයෙන් මෙසේය.

අද මුළු ලෝකයම කොරෝනා වසංගතයට මුහුණ දී සිටින බව ඔබ දන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙන බවත් ඔබ දැනටමත් දන්නවා ඇති.

අපේ රටේ ජනතාවටත් මේ කොරෝනා වසංගතයෙන් බලපෑමක් එල්ල වී තිබෙන මොහොතක් මේ අභියෝගයට රටක් වශයෙන් මුහුණ දිය යුතුයි. ජනාධිපතිතුමාත් රජයත් මේ වසංගතයට මුහුණ දෙන්න නිරන්තර අවධානයෙන් සූදානම් බව මා කියන්න ඕනෑ. ජනතාවට අවශ්‍ය වෛද්‍ය හා සෞඛ්‍ය පහසුකම් අප්‍රමාදව ලබා දීමට අපට පුළුවන්. ඒ සඳහා අවශ්‍ය නිසි වැඩපිළිවෙළක් රජයට තිබෙන බව මම අවධාරණය කරනවා.

රජය ඉතාමත් දැඩි අවධානයකින් කටයුතු කරන නිසා ඔබ මේ පිළිබඳ අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැහැ. ඖෂධ සහ සෞඛ්‍ය පහසුකම් වගේම ඉදිරි මාස කිහිපයටම රටට අවශ්‍ය ආහාර, ඉන්ධන, රෙදිපිළි ඇතුළු සියල්ල අප සම්පාදනය කරගෙන තිබෙන බව මා කිව යුතුයි. ඒ නිසා ලෝකයම මුහුණ දී තිබෙන මේ වසංගත තත්ත්වය හමුවේ අප ශ්‍රී ලාංකික ජාතියේ තිබෙන පරිණත බවත් දැනුමත් එකමුතුකමත් පෙරට ගත යුතු මොහොතයි මේ. ජාතියක් වශයෙන් වෛද්‍ය උපදෙස් පිළිපදිමු. දරුවන්ගේ ආරක්ෂාව පතා දැනටමත් රජයේ පාසල්. පෞද්ගලික අධ්‍යාපන ආයතන, විශ්වවිද්‍යාල නිවාඩු දී තිබෙනවා, මේ කෙටි කාලයේ ඒකරාශී වීමෙන් වළකින්න යැයි මා ඔබෙන් ඉල්ලා සිටිනවා. අප රජය කිසිවක් ජනතාවට හංගන්නේ නැහැ. රෝගීන් ගැන, රෝගයේ ස්වරූපය ගැන ඉතා ඉක්මනින් ජනතාව වෙත කොරෝනා මර්දන කාර්ය සාධක බළකාය මඟින් තොරතුරු ලබා දෙන්න අප සියලුදෙනාගේ ආරක්ෂාව සඳහායි. ඒ නිසා නොයෙක් සමාජ මාධ්‍යයන් මඟින් පතුරවන අසත්‍ය ප්‍රචාර, කටකතා කෙරෙහි විශ්වාසය තබා කලබල වෙන්න එපා. එසේ කලබල වීම බියට පත්වීම මේ වසංගතය පාලනයට මඟක් නොවෙයි.

මේ සියලු ක්‍රියාමාර්ග අප ගන්නේ ඔබට ප්‍රශ්නයක් ඇති කිරීමට නොව ඇති විය හැකි අපහසුතාවන්ගෙන් ඔබව මුදාගෙන ආරක්ෂිතව ජීවත්විය හැකි පරිසරයක් සැකසීමටයි.

රෝගියකු වාර්තා වූ විට ඔහු හා පවුලේ අය පිළිකුල් කිරීම, විරෝධය පෑම අපේ මනුෂ්‍යත්වයට ගැළපෙන්නේ නැහැ. අප ප්‍රතිකාර කරන රෝහල්, රැඳවුම් මධ්‍යස්ථාන තම ප්‍රදේශයෙන් ඉවත් කරන්න යැයි බලපෑම් කිරීම මනුෂ්‍යත්වයට ගැළපෙන්නේ නැහැ. එබඳු විපතක් සහෝදර රට වැසියකුට වූ විට තමා උපමාවට ගෙන කටයුතු කරන්නයි මා අදහන ආගමේ නාමයෙන් ඔබගෙන් ඉල්ලා සිටිනවා. අපි ජාතියක් වශයෙන් මේ විපත්ති අවස්ථාවේ එකට සිටිමු. අප මීට වඩා අභියෝග ජයගත් ජාතියක්. ඔබට අපට එකට එක් වී මේ විපතින් ගැලවීමට ශක්තිය තිබෙන බව මට විශ්වාසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *