කොරෝනාවලින් පහර කෑ අසල්වැසි ආර්ථිකයන් ගොඩගන්න යාන්ත්‍රණයක් හදන්න

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වසංගතය නිසා දරුණු ලෙස පහරකෑමට ලක්ව සිටින අසල්වැසි ආර්ථිකයන්ට සහන සැලසීමට කලාපීය යාන්ත්‍රණයක් ස්ථාපිත කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලීමක් සිදු කළේය. ඒ මහතා එසේ කියා සිටියේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ අදහසක් අනුව සාර්ක් සංවිධානයේ රටවල්වල නායකයන් අතර චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ පැවැති සංවාදයකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් කතා කළ ජනාධිපතිවරයා, ‘වසංගතය පැතිරීම වැළැක්වීමට සංචාරක උපදේශන කිහිපයක්ම නිකුත් කර ඇති අවස්ථාවක සංචාරක කර්මාන්තයට ඇති වන බලපෑම ආර්ථිකයට දරුණු ලෙස බලපානවා. අපට එන බොහෝ සංචාරකයන් ඉතාලියෙන් සහ යුරෝපා සංගමයේ අනිත් රටවල්වලින් පැමිණෙන අයයි. අප්‍රේල් ප්‍රහාරයෙන් සංචාරක කර්මාන්තය බිඳවැටී පැවැති අවස්ථාවක මේ වසංගතය පැමිණීම ඉතාම අසීරු ආර්ථික තත්ත්වයකට රට පත් කිරීමක්.‘

ගත යුතු ඵලදායී ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා සාර්ක් කලාපීය රටවල් අතර අමාත්‍ය මට්ටමේ කමිටුවක් ස්ථාපිත කිරීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය.

සාමාජික රටවල් 8 අතර මෙම එකමුතුව යෝජනා කරනු ලැබුවේ කොරෝනා වසංගතය ජයගැනීමට ඵලදායී සහ ශක්තිමත් ක්‍රියාමාර්ග තුළින් සාර්ථක ක්‍රමෝපායන් ස්ථාපිත කිරීම සඳහා ය.

අපට ඇති විශාලම අභියෝගය රට ඇතුළට වෛරසය ඇතුළුවීම වැළැක්වීම සහ එය රටතුළ ව්‍යාප්ත වීම නතර කිරීමයි යැයි රාජපක්ෂ මහතා මේ අවස්ථාවේ දී කීවේය. ඉතාලියේ සහ දකුණු කොරියාවේ ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් රැකියාව කරනවා ඔවුන් නැවත මවුබිමට පැමිණීම නතර කරන්න අපට නොහැකියි කී ඔහු රෝගය හඳුනාගැනීමට, නිරෝධායනයට පියවර රැසක් ගෙන ඇති බවත් වැඩිදුරටත් කීවේය. රෝගය වැළැක්වීමේ පියවරක් ලෙස පාසල්, විශ්වවිද්‍යාල, අනෙකුත් අධ්‍යාපන ආයතනවලට නිවාඩු ලබාදුන් බවත්, සමාජ හමුවීම් සීමාකර ඇති බවත් මේ වනවිට රෝගය පැතිරීම සීමාකිරීමට ගෙන ඇති ක්‍රියා මාර්ග පැහැදිලි කරමින් ජනාධිපතිවරයා කීවේය.

සාක් කලාපීය රටවල් අතර මේ සංවාදය අතරතුරදී ඉන්දීය අගමැති මෝදි අදහස් පළ කරමින් රටවල්වල අවශ්‍යතාවන්ට සඳහා යොදාගැනීමට අරමුදලක් සඳහා ඉන්දියාව අමෙරිකන් ඩොලර් මිලියන 10ක පරිත්‍යාගයක් කරන බව කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *