කොරෝනා රෝගීන් 18ක්

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය වැළඳුණු බවට ඊයේ(15) තහවුරු වූ රෝගියාත් සමඟ රෝගීන් සංඛ්‍යාව 18ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අනාවරණය කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ මේ වන විට නම් කළ රෝහල් හයක කොරෝනා වැළඳී ඇති බවට සැක සහිත රෝගීන් 133දෙනෙකු ප්‍රතිකාර ගන්නා බවයි. ඉන් නව දෙනෙකු විදේශිකයන් වේ. පුද්ගලයෙන් 4405 දෙනකු සම්බන්ධයෙන් සෞඛ්‍ය නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහායෙන් දින 14ක පසු විපරම් කෙරෙන බවත් ඒ අතර ශ්‍රී ලාංකිකයන් 2269ක්, චීන ජාතික‍ෙන් 1120ක් හා අනෙක් පිරිස වෙනත් ජාතිකන් වන බවත් ඒ මහතා පැවසීය.

නිරෝධායන ක්‍රියාවලිය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් විදේශවල සිට ශ්‍රී ලංකාවට ආ අය පිළිබඳ ගුවන්තොටුපොළ ඔස්සේ කරුණු සොයා බලා ඔවුන් ගෘහස්ත නිරෝධානයනයට ලක් කිරීමට සූදානම් වන බවද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

දැනට කොරෝනා වැළඳී බවට හඳුනාගෙන ඇති රෝගීන් කිසිවකුගේ තත්ත්වය බරපතළ නොවන අතර රෝගීන්ගේ සංකූලතා අනුව එම තත්ත්වය තීරණය වන බවත් කොරෝනා වැළඳුණු හෝ වැළඳීමේ අවදානම සහිත පුද්ගලයින් සම්බන්ධයෙන් පිළිකුලෙන් බැලීම නොකළ යුතු අතර බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාර්ල්වරයා අවධාරණය කළේය.

දෑත් සේදීම කොරෝනා ආසාදනය වළක්වා ගැනීමේ මගක් වන අතර දැනට වෛරසයට අදාළ කටයුතු සඳහා ජාතික උණ රෝහලේ පහසුකම් අවශ්‍ය පරිදි තිබෙන බවත් හෙතෙම අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *