නිරෝධායනයට පිටුපාන්නන් වරෙන්තු නැතිව අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වසංගතය ශ්‍රී ලංකාවේ පැතිරීම වැළැක්වීම සඳහා රෝග නිරෝධායන රෙගුලාසිවලට පටහැනිව කටයුතු කරන ඕනෑම තැනැත්තකු පොලිස් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමට ඊයේ (15) සිට ප්‍රතිපාදන සලසා දී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක වසංගත තත්ත්වයක් බවට ප්‍රකාශ කර ඇති කොවිඩ් 19 වසංගතය ශ්‍රී ලංකාවේ පැතිරීම වැළැක්වීම සඳහා 1897 අංක 3 දරණ රෝග නිරෝධායන හා වැළැක්වීමේ ආඥා පනතේ විදිවිධානවලට අනුව රෝග නිරෝධායන රෙගුලාසිවලට පටහැනිව කටයුතු කරන ඕනෑම තැනැත්තකු මෙසේ අත්අඩංගුවට ගත හැක.

ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ XIV වන පරිච්ඡේදයේ මහජන සෞඛ්‍ය හා ආරක්ෂාවට එරෙහිව වැරැදි යටතේ 262 (ජීවිතයට අන්තරාදායක වූ යම් රෝගයක් බෝවීම පැතිරවීමට තුඩුදෙන නොසැලකිලිමත් ක්‍රියා) 263 (ජීවිතයට අන්තරාදායක වූ රෝගයක් බෝවීම පැතිරවීමට තුඩු දෙන ද්වේශ සහගත ක්‍රියා) සහ 264 (රෝග නිරෝධායන රීතියකට අකීකරුවීම) යන වගන්ති යටතේ රෝග නිරෝධායන සම්බන්ධ වැරැදි දක්වා ඇති අතර, සියලුම වැරැදි සම්බන්ධව පොලිස් නිලධාරියකුට වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගතහැකි වැරැදි වේ.

ඉහත වැරැදි ප්‍රතිපාදන යටතේ යම් තැනැත්තකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළහොත් ඇප ලබාදීම සම්බන්ධයෙන් ඇප පනතේ ප්‍රතිපාදනවලට අදාළ වියයුතු අතර එම පනතේ 6 (1) වගන්ති අනුව සිදුකරන වරදක් සම්බන්ධයෙන් මහජන ප්‍රතිචාරය සාමය කඩවීමක් විය හැකි බවට අදාළ පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ මතය වන්නේ නම් ඇප ලබා නොදී (සැකකරු හෝ සැකකරුවන්) අධිකරණයට ඉදිරිපත් කළ හැකි අතර, එම පනතේ 14 වගන්තිය අනුව එම කාරනා මත මහේස්ත්‍රාත්වරයකුට ඇප ලබා නොදී රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ හැකියාවද ඇති බව පොලීසිය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *