කොරෝනා රෝගීන් 28කට නඟී

(කොළඹ, ලංකාපුවත්) – මෙරට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා රෝගය ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව පුවත්පත මුද්‍රණයට යන අවස්ථාව වන විට 28 දක්වා ඉහළ ගොස් තිබිණි.

ඉතාලියේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක රැඳී සිටිය දී මෙම තිදෙනා හඳුනා ගෙන තිබෙන අතර ඔවුන් අංගොඩ අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කර තිබේ. මෙසේ නවතම අසාදිතයන් ලෙස හඳුනා ගෙන ඇත්තේ අවුරුදු දහතුනක ගැහැණු ළමයෙක්, වසය අවුරුදු පනහක හා තිස් හතක පිරිමි දෙදෙනෙක් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක දී ඊයේ (16) ඒ මහතා මේ බව පැවසීය.

එමෙන් ම පෙරේදා හඳුනා ගත් පුද්ගලයා ජර්මනියේ සංචාරක යෙදී සිට පැමිණි අයකු වන අතර ඔහු සමඟ එකට සංචාරය කළ පුද්ගලයාට ද මෙම වෛරසය ආසාදනය වී ඇත.

එම රෝගියාට අංගොඩ රෝහලට ඇතුළත් වන ලෙස නිලධාරීන් දුන් උපදෙස් පිළිනොපැඳ ඔහු තමන්ගේ පවුලේ වෛද්‍යවරයා හමු වී තිබේ. එහිදී ද උණ රෝහලට ඇතුළත් වන ලෙස ඔහුට උපදෙස් ලැබී ඇති අතර, ඒ අනුව බොරැල්ල ලය චිකිස්සාගාරයට ගොස් ඇතැයි ද ජාසිංහ මහතා කීවේය. අනතුරුව මෙම රෝගියා පෞද්ගලික රෝහලකට ගොස් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කර තිබෙන බවත්, මෙම පරීක්ෂණය නොකරන ලෙස පෞද්ගලික රෝහල්වලට උපදෙස් දී තිබිය දී ඔවුන් එය සිදු කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය. අනතුරු ව බුද්ධි අංශ මැදිහත් ව මෙම රෝගීයාට දුරකතන ඇමතුම් ලබා දීමෙන් පසු ඔහු දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් වී ඇති බවත් ඒ අනුව ඔහුව අංගොඩ උණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවත් ජාසිංහ මහතා අවධාරණය කළේය.

මොහු ගල්කිස්ස ප්‍රදේශයේ පදංචි මැණික් ව්‍යාපාරියකු වන අතර තමන්ගේ සංචාරක සඟයාට කොරෝනා ආසාදන වී ඇතැයි මොහු දැන සිටි බව පවසන ජාසිංහ මහතා, මෙම පුද්ගලයා වගකීම් විරහිත ව හා සමාජ විරෝධී ව කටයුතු කර තිබෙන බව ද කීවේය.

මෙම පුද්ගලයාට දුරකතන ඇමැතුම් දෙන විට පිළිතුරු දුන්නේ භාර්යාව බව කී ඒ මහතා, මේ කරුණු සම්බන්ධයෙන් නීති ප්‍රකාරව කටයුතු කරන බව ද කීවේය.

එමෙන්ම මෙවැනි අවස්ථාවක වගකීම් විරහිතව කටයුතු කරන පුද්ගලයන් ඇත්නම් ඔවුන් සියලු දෙනා ගැන නීති මඟින් කටයුතු කරන බවත් කොරෝනා සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන්නන් 23 දෙනකු ගැන ද පරීක්ෂණ සිදු කරන බවත් දැනට දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් කීවේය.

කොවිඩ් 19 ආසාදිත රෝගීන් ඇතුළත් කරන රෝහල් සංඛ්‍යාව මේ වන විට 18 ක් දක්වා වැඩි කර තිබෙන අතර එම රෝහල්වලට අවශ්‍ය පහසුකම් සම්පාදනය කරමින් සිටින බවත් කීය.

ඉදිරියේ දී ඇතැම් විට නිරෝධායන මධ්‍යස්ථානවලින් ඉදිරියේ දී තවත් ආසාදිතයින් හමු විය හැකි බැවින් විකල්ප ක්‍රියා මාර්ග ගැනීමට සිදු වනු ඇතැයි ද හෙතෙම කීවේය.

එමෙන්ම ඇඳුම් පැළඳුම් ගන්නා ස්ථානවලට යැවීමෙන් වළකින ලෙසත් ජනතාව ගැවසෙන ස්ථානවලට නොයන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ජාසිංහ මහතා පැවසීය.

මේ අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවකුට කොරෝනා වෛරසය වැළදී ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරයි.

ඒ අනුව එම ගුවන් නියමුවා සේවය කළ ගුවන් යානයේ සෙසු නිලධාරීන්හට සිය නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස දැනුම් දී ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා පැවසීය.

මෙලෙස කොරෝනා වෛරසයට ගොදුරුව සිටින ගුවන් නියමුවා කොළඹ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක ආදී සිසුවෙක් වන අතර ඔහු පසුගිය සති අන්තයේ පැවැති එම විද්‍යාලයේ වාර්ෂික ක්‍රිකට් මහා තරගය නැරඹීමට ද ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම විද්‍යාලයේ ආදී සිසුවෙක් විසින් සමාජ මාධ්‍ය වෙත සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ කොරෝනා වෛරසය වැළදී ඇති එම ආදී සිසුවා සමඟ එකට සිටි අනෙක් පිරිසට ද නිවෙස්වලටවී ස්වයං නිරෝධායනයට ලක්වන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *