ඛණිජ තෙල් මිල වෙනස් නොවේ

(කොළඹ, ලංකාපුවත්) – ජාත්‍යන්තර වෙළෙද පොළේ තෙල් මිල ඉහළ හෝ පහළ ගියද වසරක් යනතෙක් මෙරට තෙල් මිලෙහි කිසිඳු වෙනසක් ‍සිදු නොකිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබේ.

මාර්ග තදබදය අවම කිරීම සහ පොදු ජනතාවගේ මෙන්ම පෞද්ගලික වාහනවල ප්‍රවාහන පහසු කිරීම අරමුණු කරගෙන වර්තමාන වෙළෙඳ පොළේ තෙල් මිල එලෙසම පවත්වා ගෙන යෑමට තීරණය කළ බව තොරතුර සහ ජනමාධ්‍ය ,උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ජාත්‍යන්තර වෙළෙඳ පොළෙහි තෙල් මිල අඩුවීමෙන් ලැබෙන ඉතුරුම් යොදා ගනිමින් ඛනිජතෙල් ස්ථායීකරණ අරමුදලක් පිහිටුවීමට සහ මාස 06 ක කාල සීමාවක් තුළ රුපියල් බිලියන 200 ක මුදලක් එම අරමුදල යටතේ රැස් කිරීමට කටයුතු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(19) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී
ආචාර්ය බන්දුල ගුණවර්ධ මහතා කීවේය.

ඛනිජතෙල් ආනයනයෙදී රජයට ලාභ සීමාවක් ලබාගත හැකි ආකාරයෙන් ආනයන බද්දක් පැනවීමට එහිදී තීරණය වුණ බව ඒ මහතා කියා සිටියේය

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ගෙවිය යුතු ණය මුදල් අඩු කිරීමට හැකිවන පරිදි එකී අරමුදලින් රුපියල් බිලියන 50 ක් ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදී ඒ මඟින් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ගෙවිය යුතු ණය මුදල් නිරවුල් කිරීමට හැකිවනු ඇතැයිද ගුණවර්ධ මහතා කියා සිටියේය.

ඛනිජතෙල් මිල අඩුවීමේ වාසිය සැලකිල්ලට ගෙන ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් ඝන තෙල් ලීටරයක මිල රුපියල් 70 බැගින් ලංකා විදුලිබල මණ්ඩලයට සැපයීම සහ එමගින් තාප විදුලි ජනනයට වැය වන වියදම රුපියල් බිලියන 30 කට වඩා අඩුකර ගෙන බැංකු ණය සහ පොළී නිරවුල් කරගැනීමට ද මින් හැකිවනු ඇතැයි කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඇමැතිවරයා මෙසේද කියා සිටියේය.

පසුගිය ආණ්ඩුවේ මිල සූත්‍රයක් ගෙනත් තෙල් මිල දවසින් දවස ඉහළ දැම්මා. ලෝකයේ කොහේවත් නැකති සූත්‍රයක් තමයි මංගල සමරවී මහත්තයා එලෙස ජනගත කරන්න කටයුතු කළේ. මුදල් අමාත්‍යාංශයේ මුදල් වැය කරමින් විශාල ප්‍රමාණයේ දැන්වීම් දමමින් තමයි ඔහු මේ ප්‍රචාරය ගෙන ගියේ. මම ඊට එරෙහි නඩු පවා දමා තිබෙනවා.
තෙල් මිල සම්බන්ධයෙන් අපි වැඩපිළිවෙළ සකස් කළේ ඊට අදාළ වන ක්ෂේත්‍රවල විශේෂඥයන්ගේ අදහස් සැලකිල්ලට ගෙනයි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ නාලක කළුවැව මහතාද මේ අවස්ථාවට එක්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *