හිඟයකින් තොරව ඉදිරියේදී අවශ්‍ය ඖෂධ ගෙන්විය හැකියි

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය ( 2019) වසරේ ශ්‍රී ලංකාවට ගෙන්වූ ඖෂධවල හිග මුදල් බිල්පත් ගෙවීම සඳහා රුපියල් බිලියන 10 ක් වෙන් කිරීමට රජය තීරණය තිබේ.

ඒ අනුව කිසිදු හිඟයකින් තොරව ඉදිරියේදී අවශ්‍ය ඖෂධ ගෙන්විය හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(19) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී තොරතුර සහ ජනමාධ්‍ය ,උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මේ දිනවල පවතින කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සමඟ ඉදිරියේදී ඇතිවන තත්ත්වයට සූදානමක් ලෙස මෙම තීරණය ගැනීමට, ඖෂධ සඳහා පෞද්ගලික ආයතනවලට ගෙවිය යුතු හිග මුදල් ගෙවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මෙම උපදෙස් ලබා දුන් බව හෙතෙම කීවේය.

මීට අමතරව පොහොර ප්‍රසම්පාදන බිල්පත් නිරවුල් කිරීම සඳහා රුපියල් බිලියන 03 ක් ද, කුඩා හා මධ්‍යම පරිමාණ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ගේ බිල්පත් නිරවුල් කිරීම සඳහා රුපියල් බිලියන 05 ක් ද, වසර දෙකක් පුරා ගෙවා නොමැති ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතුවලට අදාළ පොලී සඳහා රුපියල් බිලියන 46 ක් ද, 2020 මහ මැතිවරණ සඳහා අවශ්‍ය රුපියල් බිලියන 08 ක්ද ලබාදීමට රජය තීරණය කළ බව ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව එම කාර්යයන් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස වන විධිවිධාන මේ වන විට බලාත්මක කර ඇති බවත් ඒ අනුව මහා භාණ්ඩාගාරය විසින් මෙම පියවරයන් ගත් බවත් ඒ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *