කොරෝනා පැරදවීමට වෙරදරන සෞඛ්‍ය අංශය වෙනුවෙන් රොබෝ යන්ත්‍රයක්

(කොළඹ, ලංකාපුවත්) – හේමාස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ඇට්ලස් ඇක්සිලියා සමාගම, COVID-19 වෛරසය ආසාදනයවූ රෝගීන් දුරස්ථවපරික්ෂා කිරීමේ සහ ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍යසත්කාර සිදුකළහැකි ස්වයංක්‍රිය නියමු රොබෝ යන්ත්‍රයක් (AGV) නිර්මාණය කර එය හෝමාගම මූලික රෝහලට පරිත්‍යාග කළේය.

මෙම නිර්මාණය මුළුමනින්ම ශ්‍රීලාංකේය නිෂ්පාදනයක්වීම විශේෂත්වයකි.

මෙවැනි රොබෝ යන්ත්‍රයක් මෙරට නිර්මාණය කෙරුණු ප්‍රථම අවස්ථාව මෙයවන අතර එහි මුල්ආකෘතිය මේවනවිට හෝමාගම මූලිකරෝහලේ අත්හදා බැලෙමින් පවතී.

මෙම රොබෝයන්ත්‍රය නිර්මාණයකළ ඇට්ලස් කණ්ඩායමද ඕනෑමගැටළුවක් ඇතිවුවහොත් එය අවබෝධකර ගැනීම සහ ඊටපිළියම් යෙදීම සඳහා රෝහල් කාර්යමණ්ඩලය සමග සමීපව කටයුතු කරමින් සිටී.

කොරෝනා වසංගතය දුරලීම සඳහා තවත් ඒකක නිෂ්පාදනය කිරීමට ඉදිරිපත්වන තෝරාගත් පුද්ගලයන් හා ආයතන වෙත මෙම මුල්ආකෘතියේ තාක්ෂණය ලබාදීමටද ඇට්ලස් සමාගම අපේක්ෂා කරයි.

මෙම රොබෝයන්ත්‍රය, රෝගීන්ගේ ශරීර උෂ්ණත්වය පරික්ෂාකිරීම වැනි මූලික වෛද්‍යපරීක්ෂණ සිදුකිරීමට අමතරව රෝගීන්ට අවශ්‍ය ආහාර සහ ඖෂධ රැගෙනයාමේ හැකියාවෙන්ද යුක්තය.

එහි සවිකර ඇති කැමරා පද්ධතිය හරහා වෛද්‍යවරුන්ට දුරස්ථව රෝගියා සමග සංවාදයේ යෙදෙමින් රෝගියා පරික්ෂා කිරීමේ හැකියාව ලබාදී ඇත. තවද, සෞඛ්‍ය සේවකයින් ස්පර්ශ කිරීම උපරිම මට්ටමින් පාලනය කිරීම සඳහා මෙම රොබෝ යන්ත්‍රය රැහැන්රහිත (වයර්ලස්) ආරෝපණ හැකියාවෙන්ද යුතුවෙයි.

මෙමගින්, රෝගීන් පරික්ෂා කිරීම ස්වයංක්‍රියකරණයකර ඇති බැවින්, සිය සෞඛ්‍යය රැකගන්නා අතරම රෝගීන්ගේ ජීවිත බේරාගැනීමේ සටනට අඛණ්ඩව දායකත්වය ලබාදීමටද සෞඛ්‍ය අංශයේ සේවකයින්හට අවස්ථාවඋදාවේ.

ඇට්ලස් ඇක්සිලියා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අසිත සමරවීර මහතා මෙම ව්‍යාපෘතිය පිළිබඳ සඳහන්කළේ, “COVID 19 වැනි අභියෝගාත්මක වසංගතතත්ත්වයක් තුළ සෞඛ්‍ය අංශ මුහුණදෙන අභියෝගවලට විසඳුමක් ලබා දීමට සමත්වූ අපගේ කණ්ඩායම පිළිබඳ මා බෙහෙවින් ආඩම්බරවන බවය.

එසේම පවත්නාතත්ත්වය පහවගිය වහාම, මෙය තවත් වැඩිදියුණුකිරීමේ අරමුණින් පේටන්ට්බලපත්‍රය ලබාගැනීමටද ඇට්ලස් සමාගම අපේක්ෂා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × three =