සමාජ මා‍‍ධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදු කළ 07ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වංසගත තත්ත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රචාර සිදු කළ සැකකරුවන් 07දෙනෙකු මේවන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.

අප්‍රේල් මස 10වනදා සිට 12වනදා දක්වා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විමර්ශන අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත.

පසුගිය 10 වනදා බෙලිගල හා කටුගස්තොට යන ප්‍රදේශවල දී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් සැකකරුවෙකු අප්‍රේල් 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මේ අතර පසුගිය 11වනදා වැලිමඩ, කඩවත හා රාගම ප්‍රදේශවලදී තවත් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනෙකු ලබන 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

පසුගිය 12 වන දින නොච්චියාගම ප්‍රදේශයේ දී එක් පුද්ගලයෙකු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මෙවැනි අසත්‍ය ප්‍රදාර සිදු කරන හා හුවමාරු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් තවදුරටත් විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *