තවත් මාස දෙකකට එංගලන්තයේ ක්‍රිකට් නැහැ

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වසංගතයේ අඩුවක් නොමැති හේතුවෙන් සිය රට තුළ දේශිය හෝ ජාත්‍යන්තර මට්⁣ටමේ කිසිදු වෘත්තීමය ක්‍රිකට් තරගයක් ලබන ජූලි මස 01 වැනිදා තෙක් නොපැවැත්වීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඊට පෙර තීරණය කරනු ලැබුවේ මැයි මස 28 වැනිදා දක්වා තරග නැවැත්වීමටය.

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ විධායක සභාව ලබන බදාදා රැස්වීමට නියමිත අතර එහිදී ඉදිරි තරග කාලසටහන් සකස් කිරීම පිළිබඳ මූලික සාකච්ඡාවක් පැවැත්වීමට විධායක සභිකයන් තීරණය කර තිබේ.

කෙසේ වෙතත් යම් හෙයකින් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සුදුසු වටපිටාවක් ජූලි මස ආරම්භයේ දී නිර්මාණය වුවහොත් පසුගිය කාලසමයේ දී මඟහැරී ගිය සියලුම ක්‍රිකට් තරග එම කාලය තුළදී නැවත සංවිධාන කිරීමට බලාපොරොත්තු වන බව ද එංගලන්ත ක්‍රිකට් ආයතනය පවසයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය සහ ඉන්දීය කාන්තා කණ්ඩායමේ එංගලන්ත සංචාරය ද ඇතුළුව එරට දී පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරගාවලි රැසක්ම දින නියමයකින් තොරව කල් දැමීමට සිදුවූයේ කොරෝනා වෛරසය හේතුවෙන් ක්‍රීඩකයන් ඇතුළු සියලුදෙනාගේම ආරක්ෂාව සඳහා ප්‍රමුඛස්ථානයක් ලබාදිය යුතු බැවිණි. එංගලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ටොම් හැරිසන් මහතා පවසන්නේ නැට්වෙස්ට් බ්ලාස්ට් විස්සයි 20 තරගාවලිය මෙවර තරගවාරයේ අවසාන භාගයේ දී දියත් කිරීමට හැකි නම් වඩාත් යෝග්‍ය බවයි.

එම තරගාවලිය යටතේ ජුනි මාසයේ දී ක්‍රීඩා කිරීමට සැලසුම් කර තිබූ සියලුම තරග සැප්තැම්බර් මස අග භාගය දක්වා කල්දැමීමට පියවර ගෙන ඇත. එමෙන්ම පළමු වරට සංවිධානය කෙරෙන ‘පන්දු සියය’ ක්‍රිකට් තරගාවලියේ මංගල තරගවාරය අත්හැරුණු සියලුම තරගාවලි පැවැත්වීමෙන් අනතුරුව වෙනම කාලසීමාවක් වෙන් කිරීමේ අදහසක් තමන් සතුව ඇති බවත් ඒ පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අවසන් තීරණයකට එළැඹෙන බවත් හැරිසන් මහතා සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *