සම්බුදු තෙමඟුල නිවෙස්තුළටම වී සමරන්න – ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගෙන් ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – නිවෙස් තුළම රැඳී සිටිමින් වෙසක් පුන්‍යෝත්සවය සැමරීමට කටයුතු කරන්නැයි තෛනිකායික මහානායක ස්වාමීන්වහන්සේ සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටියි.

සම්බුදු තෙමඟුල සිදු වූ වෙසක් පුන් පොහෝදිනය සමස්ථ ලෝක වාසී බෞද්ධ ජනතාවගේ අතිපූජනීය ශ්‍රේෂ්ඨතම අනුස්මරණීය පුන්‍ය උත්සවයයි. ‍මෙදින දාන, ශීල ,භාවනා ආදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් උත්කර්ශවත් ලෙස පැවැත්වීම ලෝක වාසී බෞද්ධයින්ගේ සිරිතයි.

එහෙත් මෙවර කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ජනතාවගේ ජීවිතආරක්ෂාව සලසාලීමේ අපේක්ෂාවෙන් නිවෙස්වලට පමණක් සීමා වෙමින් වෙසක් පුන්‍යෝත්සව පිංකම පැවැත්වීමට තීරණය වී තිබේ. එම වැඩපිළිවෙළ බුද්ධශාසන අමාත්‍යාංශය මඟින් ජනතාවට දැනුම් දී ඇත්තේ තෛනිකායික මහානායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසනා පරිදි බව උන්වහන්සේ නිකුත් කළ වෙසක් දින පණිවුඩයේ සඳහන් වේ.

ඒ අනුව දිවයිනේ සියලු විහාරස්ථානවල හා ඉන් පිටත ජනතාව එක් රැස්වන සේ දාන, ශීල, භාවනා, වෙසක් තොරණ ආදිය සංවිධාන නොකළ යුතුයි. තම තමන්ගේ නිවාසවලම රැඳී සිටිමින් නිවස තුළදීම ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ගෙන් පූජෝපහාර දක්වමින් මෙම උතුම් තෙමගුල සැමරීම වඩාත් යෝග්‍ය බවයි මහානාහිමිවරුන් අවධාරණය කර සිටියි.

මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ,අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන , අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හා රාමාඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි යන මහානායක ස්වාමීන්වහන්සේ නිකුත් කළ වෙසක් පණිවුඩයෙන් මේ බව අවධාරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *