පාස්කු ඉරිදා ප්‍රහාරකයන්ගේ බිරින්දෑවරුන්ටත් දේශන පැවැත්වූ තැනක් සොය ගනී

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ඉරිදා දිනයේ දෙවැනි හා තෙවැනි ප්‍රහාරවලට සුදානමින් සිටි මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ බිරින්දෑවරුන්ට සහරාන් විසින් දේශන පවත්වන ලද ස්ථානයක් කාන්තාකුඩි පාලමුණේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (08) සොයා ගෙන ඇත.

කාන්තාවන් 40 දෙනෙක් පමණ දින තුනක් තිස්සේ එහි රඳවාගෙන අන්තවාදය සහ ආගම ගැන දේශන පැවැත්වා ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබේ. සහරාන් හෂිම්ට අමතර ව රිල්වාන් නැමැති සහරාන්ගේ සහෝදරයා ද කාන්තාවන්ට දේශන පවත්වා ඇත.

මුහුද අයිනේ අක්කරයක් පමණ වූ ඉඩමක පිහිටි එම ස්ථානය නවාතැන් පොළක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි. එම නවාතැන්පොළේ හිමිකරු කොළඹ හෙට්ටිවීදියේ රන් භාණ්ඩ අලෙවිසලක් හිමි ප්‍රකෝටිපතියෙක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.

“මහත්වරුන් කරන දේවල්වලට අකුල් හෙළන්න එපා, ඒ අය ආගම වෙනුවෙනුයි හැම දෙයක්ම කරන්නේ “ යැයි සහරාන් හෂීම් සිය දේශනයේදී නිරන්තරයෙන් පැවැසූ බව එම දේශනයට සහභාගි වූ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ පවසා ඇත.

එම කාන්තාව මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියට සම්බන්ධ අයියා මලෝ දෙදෙනාගෙන් එක් අයෙක් වන සාදික් නැමැත්තාගේ බිරිඳයි. ඇය මෙම ස්ථානය ගැන තොරතුරු හෙළි කර ඇත්තේ පාස්කු ප්‍රහාරය සිදුවීමෙන් සතියකට පමණ පසු ඇයව අත්අඩංගුවට ගත් අවස්ථාවේදීමය. එහෙත් එම ස්ථානය ගැන නිසි විමර්ශනයක් එකළ සිදුව නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය. මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ බිරින්දෑවරුන්ට මෙම ස්ථානයේ දේශන පවත්වා ඇත්තේ 2017 වසරේදී බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *