ස්ටැෆර්ඩ් හා ඉන්වෙන්ටිව් පොලිමර්ස් එක්ව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයට හා අයි. ඩී. එච් රෝහලට මුහුණු ආවරණ පරිත්‍යාග කරයි

(කොළඹ, ලංකාපුවත්) –හොන්ඩා වාහන සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන ස්ටැෆර්ඩ් මෝටර්ස්, කොවිඩ් -19 අර්බුදය ජය ගැනීම සඳහා වූ ජාතික වැඩසටහනට සහය වෙමින්, සෞඛ්‍ය සේවයෙහි නිරත පිරිස් වෙත මුහුණු ආවරණ පරිත්‍යාග කිරීම සඳහා සිය අනුබද්ධ සමාගම වන ඉන්වෙන්ටිව් පොලිමර්ස් ලංකා පුද්ගලික සමාගම හා අත්වැල් බැඳ ගෙන තිබේ. මෙම සහයෝගිතාවයෙන්, පසුගියදා ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වෙත හා අයි. ඩී. එච් රෝහල වෙත මුහුණු ආවරණ පරිත්‍යාගයක් සිදු කෙරිණි.

කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ මුහුණු ආවරණවල අවශ්‍යතාවය, සෞඛ්‍ය ක්ෂේත්‍රයෙහි නිරත මුල් පෙළ කාර්ය මණ්ඩලයට මෙන්ම ආරක්ෂක නිලධාරීන්ටද එකසේ බලපාන කාරණයක් වී තිබේ. පිළිගැනීමට ලක්වන දේශීය සමාගමක් වශයෙන්, ස්ටැෆර්ඩ් සමූහය පෙළගස්වනු ලබන මෙවැනි සත්කාර්ය මගින් සෑම ශ්‍රී ලාංකිකයකුගේම ජීවන තත්ත්වය නගා සිටුවීමේ අරමුණ මනාව තහවුරු කෙරෙයි.

අයි. පී. එල්. ලෙසින්ද ප්‍රකට, ඉන්වෙන්ටිව් පොලිමර් ලංකා (පුද්) සමාගම, පර්යේෂණ හා සංවර්ධන කටයුතු වල නිරත සමාගමක් වන අතර පොලිමර් ආරක්ෂක උපකරණ නිෂ්පාදනය කරයි. මෙම මුහුණු ආවරණ සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම සහ නිෂ්පාදනය කිරීම අයි.පී.එල් සමාගම විසින් සිදු කරන ලද අතර, සමාගම පවසන්නේ ‘අයිපීඑල් මුහුණු ආවරණ’ සඳහා වන දේශීය හා විදේශීය පාරිභෝගික ඉල්ලුම ඉහළ ගොස් තිබෙන බවයි.

මෙම සමාගම් ද්විත්වයෙහි සහයෝගයෙන් පසුගියදා ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයට මුහුණු ආවරණ 500 ක් ද, අයිඩීඑච් රෝහලට මුහුණු ආවරණ 100 ක් ද, වෛද්‍ය පර්යේෂණ ආයතනයට (MRI) මුහුණු ආවරණ 50ක් ද, දිවයිනේ පොලිස් ඒකක කිහිපයකට තවත් ප්‍රමාණයක් ද පරිත්‍යාග කෙරිණි. පරිත්‍යාග කරන ලද මුහුණු ආවරණ, නැවත භාවිතා කළ හැකි ආරක්ෂිත මුහුණු ආවරණ වන අතර, ඒවා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අනුමත ප්‍රමිතීන්ට අනුකූලව නිපදවා ඇත. විනිවිද පෙනෙන මෙම මුහුණු ආවරණ, නළලට ගැලපෙන සේ විශේෂයෙන් සකස් කළ සැහැල්ලු නළල් පටියකින් සමන්විත වෙයි. එහි විනිවිද පෙනෙන කොටස පොලිකාබනේට් වලින් සාදා ඇති අතර දූවිල්ලට හා අපහැදිතාවන්ට ඔරොත්තු දෙයි. එමෙන්ම, මෙම මුහුණු ආවරණ පිරිසිදු කිරීමට ඉතා පහසු හා කල් පවතින බවින් යුක්ත වන නිසා,‍ මුල් පෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට පහසුවෙන් ඔවුන්ගේ කාර්යයන්හි පහසුවෙන් නිරත වීමට මෙමගින් හැකියාව සැලසේ.

“දීර්ඝ කාලීනව, ස්ටැෆර්ඩ් සමූහය ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය ව්‍යාපාරික ආයතනයක් බවට පත්වීමට අපේක්ෂා කරන අතර, මෙය ආයතනික දිගු කාලීන දැක්මට අනුකූලව ක්‍රියාත්මක වන සමාජ සත්කාර්ය ගණනාවක් අතරින් තවත් එක් සත්කාර්යයක්. පැහැදිලිවම, ලොව පුරා සමාගම්වල කාර්යයන්ට බාධා හා බලපෑම් කරමින් අද වන විට ලෝකයම නතර කිරීමට සමත් වෛරසයක් සමග ශ්‍රී ලංකාව මේ මොහොතේ සටන් වදිමින් සිටිනවා. ඒ නිසාම වගකිව යුතු සමාගමක් ලෙස, මෙම අවස්ථාව රට වෙනුවෙන් යමක් කළ යුතු මොහොතක් බව අපට අවබෝධ වුණා.” ස්ටැෆර්ඩ් මෝටර්ස් හි කළමණාකාර අධ්‍යක්ෂ වෛද්‍ය කාලිංග කළුපෙරුම සඳහන් කළේය.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමට නම් එය ඇස්, නාසය හෝ මුඛය මාර්ගයෙන් ශරීරයට ඇතුළු විය යුතු බවට අනාවරණය වී තිබේ. ආසාදිත පුද්ගලයෙකුගේ ශරීරයෙන් බැහැර වන බිඳිති (කතා කිරීම, කැස්ස හෝ කිවිසුම් යාම මගින්) තවත් අයෙකුගේ සිරුරට ඇතුළු වීම සිදු වේ. වෛරස් තැන්පත් වූ මතුපිටක් ස්පර්ශ කර තමාගේ අත්වලින් ඇස්, නහය හා මුව ඇල්ලීමද වෛරසය ශරීරයට ඇතුළු වන තවත් ක්‍රමයකි.

එබැවින්, ආසාදන වළක්වා ගැනීම සම්බන්ධයෙන් මුහුණේ මෙම ප්‍රදේශ ආවරණය කර තිබීම ප්‍රධාන කාරණයක් වන අතර, මෙම මුහුණු ආවරණය, ඉදිරිපෙළ කාර්යයන්හි නිරත වෘත්තිකයින්ට/පෞද්ගලික අංශ කාර්ය මණ්ඩලවලට බෙහෙවින් වැදගත් පෞද්ගලික ආරක්ෂණ උපාංගයක් වන්නේ එබැවිනි. රු.750.00 වැනි පහසු සාධාරණ මිලකට සමාගම මගින් අලෙවි කරන මෙම මුහුණු ආවරණ, දිවයිනේ ස්ථාන කිහිපයකින්ම මිලදී ගත හැකි ය. එසේ නැතිනම් ඇණවුම් කර ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාවද පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *