ජනපතිගේ අමෙරිකානු පුරවැසිභාවය අහෝසි වූ බව තහවුරු වෙයි

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත් පුද්ගලයන්ගේ නම් ඇතුළත් කෙරෙන එරට ෆෙඩරල් රෙජිස්ටරයේ නවතම ප්‍රකාශනයෙහි ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුළත් වී තිබේ. අමෙරිකාවේ අභ්‍යන්තර ආදායම් කොමසාරිස් කාර්යාලය විසින් එම නාම ලේඛනය ඊයේ ප්‍රකාශයට පත් කරන ලදී.

අමෙරිකා එක්සත් ජනපදයේ 1952 සංක්‍රමණ සහ ජාතිකත්ව පනත යටතේ එරට පුරවැසිභාවය ඉවත් කරනු ලබන්නේ අදාළ රටේ අමෙරිකානු තානාපති කාර්යාලය විසිනි. ඉන් පසුව අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පුරවැසිභාවය අහෝසි කර ගත් බවට සහතිකයක් නිකුත් කරනු ලැබේ.

ඔවුන්ගේ නම් පසුව එරට ආදායම් දෙපාර්තමේන්තුව විසින් එරට ෆෙඩරල් රෙජිස්ටරයට ඇතුළත් කෙරේ. ෆෙඩරල් රෙජිස්ටරය යනු එරට අභ්‍යන්තර ලේඛනයකි. පුරවැසිභාවය ඉවත් කර ගත් පුද්ගලයන්ගේ නම් එහි ඇතුළත් කරනු ලබන්නේ ඔවුන් අමෙරිකානු රජයට ගෙවිය යුතු බදු මුදල් ඇතුළු සියලු ගෙවීම් සිදු කර ඇති බව තහවුරු කිරීම සඳහා ය. 2019 මාර්තු 31 දායින් අවසන් වූ කාර්තුව තුළ එසේ සියලු ගෙවීම් අවසන් කළ පුද්ගලයන්ගේ නම් ඊයේ නිකුත් වූ ලේඛනයෙහි ප්‍රකාශයට පත් කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා 2019 මාර්තු 31 දා වන විට එකී සියලු ගෙවීම් අවසන් කර තිබූ අතර ඒ අනුව 2019 අප්‍රේල් 17 දා කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය ඔහුගේ අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කළේ ය. 2019 මැයි 03 දා අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ඉවත් කර ගැනීම පිළිබඳ සහතිකය නිකුත් කරන ලදී.

එහෙත් පසුගිය ජනාධිපතිවරණයට පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා තෝරා ගැනීමත් සමඟ ම ඒ මහතා අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගෙන නැති බවට මෙරට දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන රැසක් විසින් අභියෝග කරන ලදී. සිවිල් සංවිධාන කිහිපයක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළේ ය. ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලුණු එකී පෙත්සම් 2019 වසරේ ඔක්තෝබර් 04 දා අධිකරණය විසින් නිෂ්ප්‍රභ කරන ලදී.

2019 නොවැම්බර් 16 දා පැවැති ජනාධිපතිවරණයේ දී ඡන්ද 69,92,4255ක් ලබා, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයා වූ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පරාජය කරමින් දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කළ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ හත් වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *