කප්පම් ගන්නා කල්ලියක් ගැන ආරක්ෂක අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) – පුද්ගලයින්ට තර්ජනය කොට ජංගම දුරකථනවල ඇති විද්‍යුත් මුදල් හුවමාරු ඔස්සේ සිදුකෙරෙන කප්පම් ලබා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය මහජනතාව ගෙන් ඉල්ලා සිටියි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙමින් පවතින විමර්ශනයට තමන්ගේ නම ඇතුලත්ව ඇති බව පවසා එයින් නම ඉවත් කිරීමට මෙලෙස ජංගම දුරකථන ඔස්සේ විද්‍යුත් මුදල් හුවමාරු ක්‍රම (e-wallet) ඔස්සේ කප්පම් ගැනීම සිදුකෙරෙන බවට තොරතුරු අනාවරණය වී ඇත.

සංවිධානාත්මක කණ්ඩායමක් විසින් මෙම කප්පම් ගැනීමේ ක්‍රියාව සිදුකරන බවයි ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න ගේ අවධානයට මේ බව යොමුවී තිබෙනවා. ඒ ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති රැස්වීමකදීය.

මෙහිදී කරුණු දක්වමින් පොලිසිය සඳහන් කර ඇත්තේ කප්පම්කරුවන් විසින් පුද්ගලයින් ගෙන් රුපියල් 25000-50,000 අතර මුදලක් ඉල්ලා තර්ජණය කොට ඇති බවයි.

මේ සිද්ධීන් සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණ ආරම්භ කොට ඇති බවත් මෙහිදී ජනතාවද බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවයි ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

යම් හෙයකින් කිසියම් හෝ පුද්ගලයෙකුට මෙවැනි දුරකථන ඇමතුම් ලැබුණහොත් ළඟම ඇති පොලිසියට හෝ 119 අංකයට දැනුම් දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

මෙවැනි වංචාකාරී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාවට නංවන බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *