කොවිඩ් අර්බුදය හමුවේ ද්විපාර්ශ්වික සබඳතා තවත් වර්ධනයට ඉන්දු – ශ්‍රී ලංකා නායකයෝ එකඟ වෙති

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා ඊයේ (23) පෙරවරුවේ සුහද දුරකථන සංවාදයක නිරත වූ දෙරට අතර සෑම ආකාරයකම සබඳතා කොවිඩ් අර්බුදය හමුවේ තවත් වර්ධනය කර ගැනීමට එකඟත්වය පළ කළහ.

ජනාධිපති කාර්යාලයේ සිට ඉන්දීය නායකයා සමග කතා කළ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා අන්‍යෝන්‍ය වැදගත්කමක් සහිත විෂයයන් ගැන අදහස් හුවමාරුවට අවස්ථාව ලැබීම පිළිබඳව සතුට පළ කරමින් වත්මන් දුෂ්කර අවධියේ ශ්‍රී ලංකාවට කළ උපකාර සම්බන්ධයෙන් මෝදී මැතිතුමාට සහ ඉන්දීය ජනතාවට කෘතඥතාව පුද කළේය.

ඉන්දියාව ප්‍රදානය කළ ටොන් 10ක වෛද්‍යාධාර බෙහෙවින් ප්‍රයෝජනවත් වූ බව එතුමා පැවසීය. “ඉන්දියාව කොවිඩ් 19 වසංගතය මනාව පාලනය කර ඇති බව මට විශ්වාසයි. ඒ සඳහා ඔබතුමා ගත් උත්සාහයට විශේෂයෙන් අඩු වරප්‍රසාද සහිත කණ්ඩායම් සඳහා හඳුන්වාදුන් ආර්ථික සහන සමූහයට මගේ ප්‍රසාදය. ශ්‍රී ලංකාවේ අපත් රෝග ව්‍යාප්තිය සතුටුදායක ලෙස පාලනය කිරීමට සමත් වී සිටිනවා” ජනාධිපතිතුමා කීය.

ඉන්දීය අගමැතිතුමා ඊට ප්‍රතිචාර වශයෙන් සඳහන් කළේ කෝටි 130ක ජනගහණයක් හසුරුවා ගැනීම දුෂ්කර වුවත් වසංගත ව්‍යාප්තිය 75% කින් පමණ මර්දනයට හැකි වූ බවයි. තමා ජනාධිපති රාජපක්ෂ මැතිතුමා හඳුනාගෙන ඇත්තේ “නිරවුල් චින්තනයක් සහිත ඉක්මණින් දුෂ්කර තීරණ ගැනීමේ හැකියාව ඇති නායකයකු” ලෙස බව මෝදී මැතිතුමා සඳහන් කළේය. “මට තිබෙන තොරතුරු අනුව ශ්‍රි ලංකාව වසංගතය හොදින් පාලනය කර ගැනීමට සමත්ව තිබෙනවා. එහි ගෞරවය හිමි වන්නේ ඔබතුමාට” ඉන්දීය නායකයා පැවසීය.

දැන් තම ප්‍රමුඛතාව ආර්ථික පුනරුදය බව කී රාජපක්ෂ මැතිතුමා ප්‍රධාන පෙළේ ව්‍යාපෘති කිහිපයක් නැවත පණ ගැන්වීමට ඉන්දියාවේ සහයෝගය අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේය. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කඩිනමින් ඉදිකිරීම ඉන් එකකි. අගය එකතු කළ කාර්මික සහ කෘෂිකාර්මික නිෂ්පාදන ප්‍රවර්ධනය තවත් අරමුණකි. මේ ක්ෂේත්‍රවල ආයෝජනය කරන මෙන් ඉන්දීය ව්‍යාපාරිකයන් සහ දැනටමත් ශ්‍රි ලංකාවේ සිටින ඉන්දීය සමාගම් දිරි ගැන්විය හැකිනම් පශ්චාත් කොරෝනා අවධියේ අර්ථික පුනරුදයට පිටිවහලක් බව එතුමා පැවසීය.

දෙරට අතර ක්‍රියාත්මක මූල්‍ය පහසුකම් හුවමාරු වැඩසටහන තවත් පුළුල් කිරීමට ජනාධිපතිතුමා යෝජනා කළේය. සාක් හුවමාරු පහසුව යටතේ ප්‍රදානය කර ඇති ඩොලර් මිලියන 400ට ඩොලර් බිලියන 1.1ක මුදලක් එකතු කිරීමට ඉන්දීය ආණ්ඩුව එකඟනම් එය විදේශ විනිමය ගැටලු කළමනාකරණයට විශාල ආධාරයක් බව එතුමා පෙන්වා දුන්නේය.

“ ශ්‍රී ලංකාවට උදව් කිරීමට මම පෞද්ගලිකවම කැපවී සිටිනවා. ශ්‍රී ලංකාවට වාසිදායක කොන්දේසි යටතේ සහය වෙන්න අප සූදානම්. ඒ සඳහා කොළඹ ඉන්දීය මහ කොමසාරිස් සමග වැඩ කිරීමට, සුදුසු නියෝජිතයෙක් පත් කරන්න” මෝදි මැතිතුමා පිළිතුරු වශයෙන් කීය.

දැනටමත් ගොඩනැගී ඇති ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය ජනතාවට ඝෘජු ප්‍රතිලාභ අත්වන සහ ආහාර හා සෞඛ්‍ය සුරක්ෂිතතාව ප්‍රමුඛතාව කොටගත් ව්‍යාපෘති ලෙස ඉදිරියට ගෙන යාමට නායකයෝ දෙදෙනා එකඟත්වය පළ කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *