පැල්වත්ත සමාගම, කොවිඩ් -19 අභියෝග හමුවේ දේශීය කිරි ඉල්ලුම සපුරාලීමට පියවර ගනියි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ දේශීය කිරි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන පැල්වත්ත සමාගම, කොවිඩ්-19 හේතුවෙන් මතුව ඇති අභියෝග මධ්‍යයේ වුව ද, දේශීය පාරිභෝගිකයින් හට සිය නිෂ්පාදන අඛණ්ඩව සමීප කරලීම සහතික කිරීමට පියවර ගෙන තිබේ.

පැල්වත්ත නිෂ්පාදන සඳහා ඇති අඛණ්ඩ පාරිභෝගික ඉල්ලුම සපුරාලීමේ අරමුණින් යුතුව, බෙදා හැරීම් අඛණ්ඩව පවත්වාගෙන යමින් ද, ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින දිස්ත්‍රික්කයන් හි විධිමත් බෙදා හැරීමේ ක්‍රමවේදයක් හදුන්වා දෙමින් පැල්වත්ත සන්නාමය පාරිභෝගිකයින් වෙත සමීප කරලීමට පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත වාර්ෂික කිරි ඉල්ලුම ලීටර් මිලියන 745 ක් වන අතර,‍ කිරි යනු ශ්‍රී ලාංකිකයින්ගේ අත්‍යවශ්‍ය ආහාරයක් ද වෙයි. ඒ හේතුවෙන් කෝවිඩ්- 19 වසංගත තත්ත්වය මත එල්ල වී ඇති අභියෝග නොතකා‍, කිරි නිෂ්පාදන මිලදී ගත නොහැකි දේශීය පාරිභෝගිකයින්ගේ නිවෙස් කරා නිෂ්පාදන බෙදා හැරීම අත්‍යවශ්‍ය කාරණයක් වී තිබේ. මෙය සැලකිල්ලට ගත් පැල්වත්ත සමාගම මගින්, විවිධාකාර කිරි නිෂ්පාදන අවශ්‍යතා ඇති පාරිභෝගිකයින් වෙත එම නිෂ්පාදන බෙදාහැරීම පිණිස විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීම ඇරඹිණි.

ඒ අනුව, ඉකුත් අප්‍රේල් මස සමාගම විසින් පැල්වත්ත නිෂ්පාදන ඇතුළත් (සම්පුර්ණ යොදය සහිත කිරී/ බටර්/ යෝගට්/ අයිස් ක්‍රීම්) පැකේජ කිහිපයක් සමගින් බෙදා හැරීමේ සේවාවක් දියත් කිරීමට කටයුතු යොදනු ලැබිණි. ප්‍රවාහනය සඳහා කිසිදු ගාස්තුවක් අය නොකර, එම නිෂ්පාදන ඇඳිරි නීතිය පවතින කාල සීමාව තුළ පාරිභෝගිකයින් අතට පත් කිරීම ද විශේෂත්වයකි. එම බෙදා හැරීමේ සේවාව, කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කයන් හි නොමඳ පාරිභෝගික පැසසුමට පාත්‍ර වෙමින් මාර්තු 28 වැනිදා සිට මැයි 01 දා දක්වා පැවැත්වුණු අතර, එම සේවාව තවදුරටත් අඛණ්ඩව සිදු කරන ලෙස එහි දී පාරිභෝගිකයෝ ඉල්ලා සිටියහ.

“සමාජ දුරස්ථකරණය පිළිබඳ රජයේ උපදෙස්වලට ප්‍රතිචාර වශයෙන් ද, කිරි නිෂ්පාදන සම්බන්ධයෙන් පවතින පාරිභෝගික ඉල්ලුම සපුරාලීමේ අරමුණ ඇතිව, කොවිඩ් 19 ඉහළ අවදානමක් ඇති දිස්ත්‍රික්කවල අත්‍යවශ්‍ය කිරි බෙදා හැරීමේ සේවාවට සමගාමිව ආරම්භ කළ අතර, අපගේ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ, ඇණවුම් ලබා දිය හැකි ක්‍රමවේදයක් ආරම්භ කෙරුණු අතර, බෙදා හැරීම සිදු කෙරුණේ ප්‍රවාහනය සඳහා කිසිදු ගාස්තු අය කිරීමකින් තොරවයි. කිරි නිෂ්පාදන පාරිභෝගිකයින්ගේ නිවෙස් වෙත ලබා දීමේ මෙම සේවාව මගින් පවුල් 30,000 කට පමණ සේවය සැලසීමට අපට හැකි වුණා” යනුවෙන් පැල්වත්ත කිරි සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ අක්මල් වික්‍රමනායක මහතා පැවසීය.

පැල්වත්ත නිෂ්පාදන නිවෙස් වෙත බෙදා හැරීමේ ප්‍රධානතම ක්‍රමවේදය මෙහෙයවනු ලබන්නේ කැලණියේ පිහිටි පැල්වත්ත උප ගබඩාව මගිනි. පාරිභෝගිකයින්ගේ ආදායම හා අවශ්‍යතාව අනුව මිලදී ගත හැකි පරිදි රු.1500 සිට රු. 5000 දක්වා කිරි නිෂ්පාදන ඇතුළත් පැකේජ හතරක් හඳුන්වා දී තිබේ.

ඉතාමත් සැලසුම් සහගත බෙදාහැරීම් ජාලය, හොඳින් කළමණාකරණය කරන ලද භාණ්ඩ ප්‍රවාහනය සමග ප්‍රශස්ත ගබඩා කළමණාකරණය හේතුවෙන් මෙම වැඩසටහනට පාරිභෝගිකයින්ගේ ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබිණි. සීමිත සම්පත් සහිතව සමාගම මෙම බෙදාහැරීමේ සේවාව ආරම්භ කළ නමුත්, එමගින් පාරිභෝගික ඉල්ලුම සපුරාලීමට හැකි ව තිබීම සතුටට කාරණයකි. එසේම, වැඩි පාරිභෝගිකයින් පිරිසකට මෙම සේවාව ලබා දීමට අවශ්‍ය ප්‍රදේශයන්හි බෙදා හැරීම් විධිමත් කිරීමට ද අපේක්ෂා කරන පැල්වත්ත සමාගම ප්‍රශස්ත සේවාවක් පාරිභෝගිකයින් හට සැලසීම පිණිස අතිරේක සම්පත් පිළිබඳව ද සලකා බලමින් සිටියි.

“පෙර නොවූ විරූ ආකාරයෙන්, මහජන සෞඛ්‍ය අර්බුදයන්ට මුහුණ දෙමින් සිටින අතරතුර, ඉල්ලුම් සැපයුම් කළමණාකරණය ආශ්‍රිත සමස්ත ක්‍රියාවලියම අපට ඉගෙනීමේ පරිච්ඡේදයක්. අනෙක් බොහෝ සමාගම් සේම, අපි පළමුවෙන්ම අපගේ කාර්ය මණ්ඩලයේ සුරක්ෂිතතාව සහතික කරමින්, දේශීය කිරීගොවි ප්‍රජාවට සහය වීම පිළිබඳව අවධානය යොමු කර ඇත. දෙවනුව, පාරිභෝගික ඉල්ලුම සපුරාලීම සඳහා යාන්ත්‍රණයක් ලෙස සක්‍රීය බෙදා හැරීමේ ක්‍රමවේදය ස්ථාපිත කිරීමට අපට සිදු වුණා. කොවිඩ් -19 අර්බුදය හේතුවෙන් බොහෝ සමාගම්වලට, පාරිභෝගිකයින් වෙත ප්‍රවේශ වීම කෙසේ සිදු කළ යුතුද යන්න පිළිබඳ සලකා බැලීමට සිදුව තිබෙනවා. එබැවින්, පාරිභෝගික තෘප්තිය රඳවා තබා ගැනීමේදී, බෙදා හැරීම මුල්කර ගත් අලෙවි දාමය මත කටයුතු කිරීමට අප ගත් තීරණය සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ අතර, එමගින් කිරි සහ අනෙකුත් දේශීය නිෂ්පාදනවලින් ස්වයංපෝෂි වීම පිළිබඳ ශ්‍රී ලංකා රජයේ ඉලක්ක වෙත ළඟා වීමට,‍අප බලාපොරොත්තු වන බව වික්‍රමානායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *