එයාර්ටෙල් සේවකයින්ට oDoc යෙදුම හරහා නොමිලේ ටෙලිමිඩිසින් වෛද්‍ය උපදේශනය

‍(කොළඹ, ලංකාපුවත්) – ජනප‍්‍රියතම සේවා සැපයුම්කරුවෙකු ලෙස සිය තත්වය තහවුරු කරමින් එයාර්ටෙල් ලංකා සමාගම සියලූම සේවකයින්ට සහ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයින්ට සම්පූර්ණයෙන් ම නොමිලේ ටෙලිමෙඩිසින් වෛද්‍ය උපදේශනය ලබා දීම සඳහා විප්ලවීය ටෙලිමෙඩිසින් වේදිකාවක් වන oDoc සමඟ අත්වැල් බැඳ ගත් බව නිවේදනය කර ඇත.

මෙම සහයෝගීතාවය 2020 මාර්තු මාසයේ සිට එනම් ශ්‍රී ලාංකිකයින් සමාජ දුරස්ථකරණයෙහි නිරතවීම සහ නිවසේ සිට වැඩ කිරීම ආරම්භ කිරීමත් සමඟ ක‍්‍රියාත්මක විය.

මෙම ටෙලිමෙඩිසින් පහසුකමට ඉංග‍්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවෙන් දුරස්ථ පිවිසුම ඇතුලත් අතර එමඟින් ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි සාමාන්‍ය හා විශේෂඥ වෛද්‍යවරුන් 600කට වැඩි පිරිසකට මෙන්ම දුරස්ථ රසායනාගාර සේවාවලට සහ නිවෙස්වලටම බෙහෙත් වට්ටෝරු ලබා දීම යන සේවාවලට ප‍්‍රවේශය ලබා දෙයි.

‘‘අපගේ කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුගේම ආරක්ෂාව, සෞඛ්‍ය සහ යහපැවැත්ම සැමවිටම එයාර්ටෙල් ලංකා සමාගමේ ඉහළම ප‍්‍රමුඛතාවයක් වේ. විශේෂයෙන්ම දැනට පවතින කොවිඞ්-19 වසංගතය පැතිරීමේ අවදානම හමුවේ අපගේ සේවකයින් සහ ඔවුන්ගේ ආදරණීයයන් හොඳින් රැකබලා ගන්නා බවට සහතික කිරීමට අපට අවශ්‍ය වූ අතර පුරෝගාමී oDoc යෙදුම හරහා අවශ්‍ය විටෙක ඉහළ ගුණාත්මක සෞඛ්‍ය සේවා සඳහා දුරස්ථ ප‍්‍රවේශයක් ලබා දී ඇත.

පුද්ගලයින් එකිනෙකා සම්බන්ධ කිරීමට සහ සැබෑ ලෝකයේ ගැටළු විසඳීමට විදුලි සංදේශවල හා ජංගම තාක්ෂණයේ බලය උපයෝගී කර ගනිමින් oDoc යෙදුම සෞඛ්‍ය සේවාවට පිවිසීමේදී ඇති බහුවිධ අභියෝගයන්ට මනා විසඳුමක් සපයයි. ශ්‍රී ලංකාව යථා තත්වයට පත්වීම ක‍්‍රමයෙන් ආරම්භ වුවත්, එම ප‍්‍රයත්නයන් වේගවත් කිරීම සඳහා මෙවැනි නවෝත්පාදන ඉවහල් වන බව අප විශ්වාස කරනවා.’’ යනුවෙන් එයාර්ටෙල් ලංකා සමාගමේ, මානව සම්පත් ප‍්‍රධානී, කනිෂ්ක රණවීර මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *