විදේශ රැකියා සඳහා ඉදිරියේදී වැඩි පිරිසක් මත්තලින් යැවීමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොලින් ඉදිරියේදී ශ්‍රමිකයින් වැඩි වශයෙන් පිටත්කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා ප්‍රකාශ කළේය. ඔහු මෙම අදහස් පළකළේ, නිවාඩු සඳහා මෙරටට පැමිණ සිටි කොරියානු රැකියාලාභීන් පිටත්වීමේ විශේෂ අවස්ථාවට එක්වීමට ගුවන් තොටුපොලට පැමිණි අවස්ථාවේදීය.

විදේශ රැකියා ක්ෂේත්‍රය නැවත මේ ලෙස පණ ගන්වමින් ශ්‍රමිකයින් විදේශ රැකියා සඳහා යොමු කිරීමට විදේශ රැකියා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් ලබාදුන් මාර්ගෝපදේශයට අනුව යමින් මෙම පිරිස් ඉක්මණින් රැකියා සඳහා යොමු කිරීමට කාර්යාංශය හැකිවිය.

දකුණු කොරියාවේ රැකියාවල නිරත වී නිවාඩු ලබා යළි මෙරටට පැමිණ නැවත පිටත්ව යාමට නොහැකිව සිටි පිරිස් තමන්ගේ සේවා ස්ථාන වෙත නැවත පිටත් කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙම ශ්‍රමිකයින් මෙලෙස යොමුකිරීම සිදුකෙරිණ. ඔවුන් එරටදී දින 14ක නිරෝධායන අවශ්‍යතා සඳහාද යොමුකිරීමට කාර්යාංශය හා කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය පහසුකම් හා ක්‍රමවේද සකසා තිබේ. මෙම ශ්‍රමික පිරිස වඩාත් සෞඛ්‍යාරක්ෂිතව ඉතා පහසුවෙන් විදේශ ගතවීමට මත්තලින් පහසුකම් සැලසින.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ රත්වත්තේ මහතා මෙලෙසද ප්‍රකාශ කළේය.

“කොරෝනා වසංගතයෙන් ලෝකයම පීඩාවට පත්වී ඇති අවස්ථාවක රැකියා අහිමිවීමක් සිදු නොකරගෙන ලංකාවෙන් කොරියාවට ශ්‍රමිකයින් 160 දෙනෙකු පිටත් කිරීමට කාර්යාංශයට හැකියාව ලැබුණා.

විශේෂයෙන් මෙම අවස්ථාව ලබාගැනීම සඳහා ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ විෂය භාර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා දැක්වූ සහය අගය කරනවා. ඉදිරියේදී මත්තල ගුවන් තොටුපොලින් කොරියාවට ශ්‍රමිකයින් පිටත් කිරීමට මෙන්ම කොරියාවේ සිට මත්තල වෙත ශ්‍රමිකයින් ගෙන්වීමට බලාපොරොත්තු වෙනවා. එසේම මත්තල ගුවන් තොටුපොලින් විදේශ රැකියා ලාභීන් වැඩි පිරිසක් විදේශ ගතකිරීමට බලාපොරොත්තු වෙනවා.”

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා මෙලෙසද ප්‍රකාශ කළේය.

“කටුනායක ගුවන් තොටුපොල කාර්යබහුල වීම හා කොරෝනා වෛරසය හේතුවෙන් ඊට සෞඛ්‍ය ආරක්ෂණ පියවරක් ලෙස ශ්‍රමිකයින් මත්තල විකල්ප ජාත්‍යන්තර ගුවන් තොටුපොලින් විදේශ රැකියා සඳහා මෙම අවස්ථාවේ යොමුකිරීමට කටයුතු කළා. අපට ලැබෙන සෑම අවස්ථාවකම මෙම විකල්ප ගුවන්තොටුපොල විදේශ ශ්‍රමිකයින් විදේශ ගත කිරීමට භාවිතා කරනවා.”

මෙම අවස්ථාවට එක්වූ මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපොලේ කළමනාකරු උපුල් කලංසූරිය මහතා සඳහන් කළේ, විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගම එක්ව විදේශ රැකියා ලාභීන් විශාල වශයෙන්, මත්තල ගුවන් තොටුපොලින් ගුවන් ගත කිරීමට සැලසුම් කර තිබෙන බවයි. වාර්තාවලට අනුව, මත්තල ගුවන් තොටුපොල අවට දිස්ත්‍රික්කවලින් 30% ක් පමණ විදේශ ගත වී ඇති බවත්, ඉදිරියේදී ඔවුන්ගේ ගුවන් ගමන් පහසුකම් මත්තල ගුවන් තොටුපොලින් ලබාදීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

මෙම අවස්ථාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උප සභාපති නිමල් තිබ්බොටුමුනුව, කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ මෙරට නේවාසික අධ්‍යක්ෂක කිම් වොන් සොක් සහ කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (බඳවාගැනීම්, පුහුණු හා අලෙවිකරණ) මංගල රන්දෙණිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *