ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීම් කඩිනම් කරන ලෙස මහ බැංකුවට උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) –ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී ආයතනයේ තැන්පතුකරුවන් සඳහා මුදල් ගෙවීම කඩිනමින් සිදු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහ බැංකුවට උපදෙස් ලබා දුන්නේ ය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය යටතේ පවතින මුල්‍ය ආයතනයක් කඩා වැටීම සම්බන්ධයෙන් වගකීම මහ බැංකුව විසින් භාරගත යුතු බව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය.

ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී ආයතනයේ වර්තමාන තත්වය පිළිබඳ ව අරලියගහ මන්දිරයේ දී ඊයේ (03) පැවැති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ ය.

ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පවතින මුල්‍ය ආයතන මෙලෙස දිගින් දිගටම කඩා වැටීම සහ එවැනි මුල්‍ය ආයතනයන් හි සිදුවන අක්‍රමිකතාවන් හේතුවෙන් රජය අප්‍රසාදයට පත්වන අතර, මේ හේතුවෙන් රාජ්‍ය මුල්‍ය ආයතන සම්බන්ධයෙන් වන ජනතා විශ්වාසය පළුදු වන බවත් පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා අලුතින් නීති සකස්කර හෝ මෙවැනි මුල්‍ය වංචාවන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුතු බව වැඩිදුරටත් පැවැසී ය.

ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී ආයතනයේ තැන්පතුකරුවන් සඳහා මුදල් ගෙවීම කඩිනමින් සිදු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහි දී දන්වා සිටි අතර, එළැඹෙන සඳුදා දින සිට තැන්පත්කරුවන්ගෙන් සියයට 97 ක් දක්වා එම මුදල් ගෙවීම සිදුකරන බවත් ඉතිරි සියයට 3 සඳහා ද පසුව ගෙවීම් සිදු කරන බවත් නියෝජ්‍ය මහ බැංකු අධිපති එච්.ඒ කරුණාරත්න මහතා පැවැසීය.

මහ බැංකුවේ සුපරීක්ෂණය යටතේ පවතින මුල්‍ය ආයතනයක් මෙලෙස ජනතාවගේ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව මෙම අවස්ථාවට සහභාගී වූ අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී ආයතනයේ ගැටලුකාරී තත්ත්වයන් පැවැතිය දී පවා එම ආයතනය සම්බන්ධයෙන් විශ්වාසය ඇතිවන ආකාරයේ නිවේදන පළ කළ බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා තවදුරටත් පෙන්වා දුන්නේ ය.

අසීරුතාවට පත් ව සිටින ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී ආයතනයේ තැන්පත්කරුවන් සඳහා මෙන් ම මේ වන විට කඩා වැටී ඇති අනෙකුත් මුල්‍ය ආයතනයන් හි තැන්පත්කරුවන් සඳහා ද සාධාරණය ඉටුවිය යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එහි දී පෙන්වා දුන්නේ ය.

ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී ආයතනය මහ බැංකුවේ සුපරීක්ෂණය යටතේ පැවැතිය ද ස්වාධීන අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ පාලනය වූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා ප්‍රකාශ කළ අතර එම ආයතනය ආයෝජකයකු වෙත පැවරීමට හැකියාව ඇති බව ද තවදුරටත් සඳහන් කළේ ය. අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් , ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන්, මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර් ආටිගල, නීති උපදේශකවරු ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *