පාර්ලිමේන්තු මැතිවරණ දිනය තීරණය කිරීම ලබන සඳුදා

(කොළඹ, ලංකාපුවත්) –මහ මැතිවරණය පැවැත්වෙන දිනය ලබන සඳුදා එනම් (08) වැනිදා මැතිවරණ කොමිසම් සභාව රැස් වී තීරණය කරන බව මැතිවරණ කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (03) පැවැසීය.

මැතිවරණය පැවැත්වීමේ දී පිළිපැදිය යුතු මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ (03) සිය කොමිසම වෙත ලබා දුන් බවත් ඒ අනුව මනාප අංක නිකුත් කිරීම ඇතළු ඉදිරියේ දී ගනු ලබන පියවරයන් ගැන කොමිසම් සභා සමාජිකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ප්‍රකාශයට පත් කරන බවත් හෙතෙම කීවේය.

මහ මැතිවරණය සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ව සාකච්ඡා කිරීමට කොමිසමේ සාමාජිකයන් ඊයේ (03) රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවක් පවත්වමින් සභාපතිවරයා එසේ සඳහන් කළේය.

එමෙන් ම ඉතිහාසයේ පළමු වරට මෙවර මැතිවරණය පැවැත්වෙන සෑම ජන්ද මධ්‍යස්ථානයක ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වෛද්‍යවරයෙක්, හෙඳ නිලධාරීන් දෙනෙක් සහ සහයකයකු අනියුක්ත කිරිමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ ය.

එලෙස සෞඛ්‍ය නිලධාරින් ජන්ද මධ්‍යස්ථාන වෙත යොමු කිරිම හේතුවෙන් සෞඛ්‍ය කේෂ්ත්‍රයට සම්බන්ධ සියලුම නිලධාරින්ට මහා මැතිවරණය වෙනුවෙන් තැපැල් ජන්දය සඳහා ඉල්ලුම් කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඉල්ලා සිටි අතර එම තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය ඊයේ (03) දිනෙන් අවසන් වීමට නියමිත ව තිබුණත් එය ලබන 08 වෙනිදා දක්වා දීර්ඝ කළ බව ද සඳහන් කළේ ය.

ඡන්දය ඉල්ලීමට ඉදිරිපත් වී සිටින මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන්ට, නගරාධිපතිවරුන්ට, උප නගරාධිපතිවරුන්ට ඒ තනතුරුවලින් නිවාඩු ගන්නා ලෙසත්, රාජ්‍ය දේපළ හා රාජ්‍ය මාධ්‍යවල ක්‍රියාකාරිත්වය ගැනත් තදින් ම ක්‍රියාත්මක වන බවත් මහින්ද දේශප්‍රිය මහතා කීවේ ය.

මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේ ය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සහ එතුමන්ගේ නිලධාරීන් මෙම මාර්ගෝපදේශය සකස් කරන්න බොහෝ මහන්සි වුණා. අපි මෙහි ආරම්භක සාකච්ඡාව පැවැත්වුවේ පසුගිය අප්‍රේල් 29 වැනිදායි. එයින් පසු සාකච්ඡා වාර හතරක් පැවැත්වීමෙන් පසු ඊයේ දින පස්වරුවේ එම වාර්තාව ලැබුණා. මේ වාර්තාව ලැබෙන තෙක් තමයි අපි කිව්වේ අපට අවශ්‍යයි කොළ එළිය කියලා. මෙයින් කියලා තිබෙන්නේ ඡන්දය පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවයි. මේ සම්බන්ධයෙන් අපේ සමාජිකයන් හා සහකාර තේරීම් භාර නිලධාරීන් එක්ක සකච්ඡා කරන්න.

ඊයෙත් කොමිසම් සභාව රැස්වෙලා සෞඛ්‍ය උපදෙස් ගැන තමයි සාකච්ඡා කළේ. ඊට අමතරව අපිට තිබෙන නෛතික කරුණු, ඡන්දය ගණන් කිරීම, ඡන්දය පැවැත්වීම යන කරුණු ගැන සකාච්ඡා කළා. මෙහි අවසන් තීන්දුව මේ දින කිහිපයදි ගන්නවා.

හැම ඡන්ද මධ්‍යස්ථානයකටම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරියෙක් අනුයුක්ත කිරීමට කටයුතු කරනවා. සෞඛ්‍ය ක්ෂේත්‍ර යේ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ තිබෙන රෝහල්වල විශේෂයෙන් කොවිඩ් වසංගතය පාලන කිරීම සඳහා යොදා ගෙන තිබෙන රෝහල්වල කාර්ය මණ්ඩලයට, සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් තැපෑලෙන් ඡන්දය දීමට ඉල්ලුම් කරන ලෙස ඉල්ලා තිබෙනවා. 08 වැනිදට බැරි 09 වැනිදා වෙන කොට අයදුම්පත්‍රය තමන්ගේ ආයතන ප්‍රධානීයා ලවා අස්සන් කරවලා බාරදෙන්න කියලා.

උදාහරණයක් ලෙස රුවන්වැල්ලේ වෛද්‍ය කාර්යාලයේ සේවය කරන අම්බලන්ගොඩ පදිංචිකරුවෙකුගේ තැපැල් ඡන්ද අයදුම්පත යවන්න ඕන ගාල්ලේ මැතිවරණ කාර්යාලයටයි. නමුත් ඒ අයට ගාල්ල මැතිවරණ කාර්යාලයට යන්න ඕන වෙන්නේ නැහැ. රුවන්වැල්ලේ, යටියන්තොට වෛද්‍ය කාර්යාලයේ ඉල්ලුම්පත් කෑගල්ල මැතිවරණ කාර්යාලයට ගෙනවිත් දුන්නොත් අපි එය හුවමාරු කරගන්නවා.

අපි බලාපොරොත්තු වෙනවා ඡන්ද පොළවල් කිහිපයක් එකතු කරලා පොකුරක් අධීක්ෂණයට වෛද්‍යවරයෙක්, හෙද නිලධාරීන් දෙදෙනෙක් සහ තවත් සහයක නිලධාරියෙක් වෑන් රථයක වගේ ඉඩ තිබෙන වාහනයක ඒවා අධීක්ෂණය කරන්න ඡන්දයට පෙර දින සහ ඡන්ද දිනයේ දී කිහිප වතාවක් යොදවන්න.

නඩු තීන්දුව ලැබුණයි කියලා ඡන්දය තියන්න කිව්ව කියලා ජනතාව රෝගී නොවී නිරෝගී ජාතියක් විදියට සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දුරස්ථභාවය, මුඛ ආවරණ සහ නිතර නිතර අත් සේදීම යන මූලික කරුණු තුන ක්‍රියාත්මක කරන ලෙසයි. විශේෂයෙන් තව කෙනෙක් එක්ක කතා කරදිද මුඛ ආවරණය ඉවත් කරන්න එපා කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අපි දේශපාලඥයන්ගෙන් සහ පක්ෂවලින් ඉල්ලා සිටිනවා දැවැන්ත රැස්වීම්, ප්‍රදර්ශන පවත්වන්න එපා, වාහනවලින් ප්‍රවාහනය කිරීම් කරන්න එපා කියලා. පොකට් රැස්වීම් තියද්දි පිළිපැදිය යුතු යෝජනාත් මෙහි ඉදිරිපත් කරලා තිබෙනවා. මේ පිංචේ තියෙන දේවල් දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡාවක් පවත්වලා දැනුම් දෙනවා.

මැතිවරණ යාන්ත්‍රණය ක්‍රියාත්මකයි. ඊයේ සිට සියලුම දිස්ත්‍රික්කවල මැතිවරණ විමර්ශන කාර්යාල ඇති කරලා සඳුදා සිට ක්‍රියාවය නංවන්න කටයුතු කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *