මධ්‍ය සහ අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ප්‍රශ්නය විසඳීමට ජනපතිගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – මධ්‍ය සහ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමට අවධානය යොමු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවට ඊයේ (10) උපදෙස් ලබා දුන්නේය. සාම්ප්‍රදායික රටාවෙන් බැහැරව රාජ්‍ය ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් සකස් ක ළයුතුව ඇතැයි ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවේ ප්‍රගතිය සමාලෝචනය කරණු පිණිස ජනාධිපති කාර්යාලයේ ඊයේ (10) පැවැති සාකච්ඡාවේ දීය. පසුගිය වසර 05 අවසානයේ ආයතනය බාර ගන්නා විට පැවැති සහ වත්මන් තත්ත්වය පිළිබඳ වාර්තාවක් දෙන ලෙස දැනුම් දුන් ජනාධිපතිවරයා ඉදිරි වසරේ දී ළඟා කර ගත යුතු ඉලක්ක මේ වසරේ දී සැලසුම් කළ යුතු බව පැවැසීය.

රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයේ නව ඉදිකිරීම් අවස්ථා අත් කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිවරයා, පෞද්ගලික අංශය සමඟ තරග කළ හැකි අන්දමින් ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය වර්ධනය කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නේය.

රාජ්‍ය ආයතනවලින් සංස්ථාවට අය විය යුතු මුදල් නිසි පරිදි නොලැබීම නිසා මතුව ඇති ගැටලුව පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළ අතර ඒ පිළිබඳව සොයා බලා මුදල් අය කර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ සැකසීමට නිලධාරීන්ට එහිදී උපදෙස් ලැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *