විදේශ රැකියා ලියාපදිංචිය තවත් රටවල් හතරකට ව්‍යාප්ත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –විදේශ රැකියා සඳහා පිටත්වීමට බලාපොරොත්තුවන ශ්‍රී ලාංකිකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු අදියර කිහිපයක් යටතේ ආරම්භ කළ අතර, එහි දෙවන අදියර ලෙස හොංකොං, රුමේනියා, පෝලන්තය හා චෙක් රාජ්‍යයට අදාල ලියාපදිංචි කිරීම අද(17)සිට යළි ආරම්භ කරන බව එහි සභාපති කමල් රත්වත්තේ මහතා සඳහන් කරයි.

ඉහත රටවල රැකියා සඳහා ශ්‍රී ලාංකික රැකියා අපේක්ෂිතයින් බඳවා ගැනීමට අදාල මාධ්‍ය දැන්වීම් පළකිරීමට, බලපත්‍රලාභී රැකියා නියෝජිතායතනවලට අනුමැතියද මේ සමග හිමිවේ.

ප්‍රමාදයකින් තොරව විදේශ රැකියා ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කරමින් රැකියා සඳහා පිටත්ව යාමට උනන්දු ශ්‍රී ලාංකික රැකියා අපේක්ෂිතයින්ට ඒ සඳහා පහසුකම් නොපමාව සලසමින් ආර්ථිකය පනගැන්වීම සඳහා නිපුණතා සංවර්ධන, කම්කරු සුභසාධන හා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලබාදුන් උපදෙස් අනුව යමින් රැකියා සඳහා ලියාපදිංචිය මෙසේ වේගවත් කර ඇත.

ලොව පුරා කොරෝනා වෛයිරසය ව්‍යාප්තවීම හේතුවෙන් පසුගිය මාර්තු 13 දින සිට විදේශ රැකියා සඳහා පිටත්වන්නන් ලියාපදිංචි කිරිම තාවකාලිකව අත්හිටවූ අතර, වෛරසය යම්තාක් දුරට පාලනය වීම හා විදේශ රැකියා නියෝජිතායතන මෙන්ම ශ්‍රමික ප්‍රජාව විසින් සිදුකරන ලද ඉල්ලීම් සලකා බලා කාණ්ඩ වශයෙන් විදේශ රැකියා සඳහා ලියාපදිංචි කිරීම් යළි ආරම්භ කිරීමට කාර්යාංශය පියවර ගන්නා ලදී.

විදේශ ගතවීමට අනුමැතිය ලබාදීම ප්‍රථම අදියර මැයි 20 වෙනි දින සිට යළි ආරම්භ කළ අතර, ඒ අනුව දකුණු කොරියාව, ජපානය, කැනඩාව හා ජර්මනිය යන රටවල රැකියා සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදී තිබේ.
මේ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය හා සියලුම පළාත් කාර්යාල, දිස්ත්‍රික් කාර්යාලවල සාමාන්‍ය රාජකාරී ආරම්භ කර ඇති බැවින් රැකියා සඳහා ලියාපදංචිය කිරිම් ද එම ස්ථානවලදී සිදුකෙරේ. එහිදී විදේශ රැකියාවක නිරතව සිට දැනට නිවාඩු ලබා පැමිණ සිටින, නැවත තම රැකියා ස්ථානවලට යාමට බලාපොරොත්තුවන අය ලියාපදිංචියේදී ප්‍රමුඛත්වය ලබාදේ.

විදේශ රැකියා සදහා ලියාපදිංචි කිරිමට අදාල සෙසු නිතී රිති සාමාන්‍ය පරිදිම ක්‍රියාත්මක වන අතර, මැදපෙරදිග හා සෙසු රටවලට අදාල විදේශ රැකියා සදහා ලියාපදිංචි කිරිම් ඉදිරියේදි ආරම්භ කිරිමටද නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *