උපකාරක පන්ති සඳහා ළමුන් වැඩිකිරීම කෙරෙහි රජයේ අවධානය

(කොළඹ, ලංකාපුවත්) –උපකාරක පන්ති පැවැත්වීමේදී දැනට ලබා දී ඇති සිසුන් 100 සීමාව සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කර තවත් ප්‍රමාණයකින් වැඩිකිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

දැනට ලබා දී තිබෙන සිසුන් 100 සීමාව ඇතුළත මහා පරිමාණයේ පන්ති පැවැත්වීම අසීරු බවත්, විශේෂයෙන් කෙටි කාලයක් ඇතුළත උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය කිරීමේදී විශාල දුෂ්කරතාවයක් මතුවන බවත් උපකාරක පන්ති පවත්වන දේශකවරුන් විවිධ ඇමැතිවරුන් වෙත ඉදිරිපත් කර තිබූ කරුණු කෙරෙහි ඊයේ (24) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අවධානය යොමුවූ බව සම කැබිනට් ප්‍රකාශක, තොරතුරු සහ ජනමාධ්‍ය, උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන ඇමැති අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි

මේ සම්බන්ධයෙන් එම ඇමැතිවරුන් දැක්වූ කරුණු කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, මේ සම්බන්ධයෙන් නැවත වරක් සලකා බලා දරුවන් වැඩි සංඛ්‍යාවකට උපකාරක පන්තිවල ඉඩප්‍රස්ථාව ලබා දිය හැකි දැයි සොයා බලන ලෙස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට දැන්වූ බවද ඇමැතිවරයා කියයි.

පක්ෂ නායකයකු සහභාගී වන දේශපාලන රැස්වීමකට දුරස්ථභාවය පවත්වා ගනිමින් 500ක පිරිසක් සහභාගී කර ගැනීමට හැකියාව පවතින බැවින්, එවැනි සෞඛ්‍යාරක්ෂක විධිවිධානවලට යටත්ව ආරක්ෂිත තත්ත්වයන් යටතේ උපකාරක පන්තිවලට ද තවත් සිසුන් ප්‍රමාණයක් යොදා ගත හැකිද යන්න පිළිබඳ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ලක්වූ බවත් ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(25) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *