නැගෙනහිර පළාතේ පාසල් විවෘත කිරීමට පෙර විෂබීජහරණය කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වසා දැමුණු පාසල් යළි විවෘත කිරීමේ දි එම වෛරසයෙන් සහ ඩෙංගු වලින් තොර සුරක්ෂිත පාසලක් දරුවන්ට ලබා දිය යුතු බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

එම සුරක්ෂිත පාසල් පද්ධතිය දරුවන්ට ලබා දීම සඳහා රජය විශේෂ ආරක්ෂිත වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවද ආණ්ඩුකාරවරිය කීවාය. එම කටයුත්ත සාර්ථක කර ගැනිම සඳහා දෙමාපියන්ට ද විශාල වගකිමක් පැවරෙන බව ආණ්ඩුකාරවරිය අවධාරණය කළාය.

කොවිඩ්-19 වෛරසය සහ ඩෙංගු වලින් තොර සුරක්ෂිත පාසලක් දරුවන්ට උදා කර දීමේ රජයේ වැඩපිළිවෙලේ නැගෙනහිර පළාත් ප්‍රධාන පිරිසිදු කිරිමේ වැඩසටහනට ත්‍රිකුණාමලය සිංහල මහා විද්‍යාලයේ දී එක් වෙමින් පසුගිය දා ආණ්ඩුකාරවරිය මේ බව කියා සිටියාය.

මෙම ප්‍රධාන වැඩසටහනට සමගාමිව දිස්ත්‍රික්කයේ තවත් පාසල් 3ක විශේෂ පිරිසිදු කිරිමේ ආදර්ශ වැඩසටහන් සංවිධානය කර තිබුණි. ත්‍රිකුණාමලය විවේකානන්ද දෙමළ මහා විද්‍යාලයේ සහ වාන්ඇල මහා විද්‍යාලයේ පැවති මෙම පිරිසිදු කිරිමේ විශේෂ ආදර්ශ වැඩසටහන් සඳහා සිවිල් ආරක්ෂක බලකාය, කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය සහ ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කරමින් විශේෂ කණ්ඩායම් ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *