HNB, Fitch ශ්‍රේණිගත කිරීම් හි ඉදිරියට යමින් ‘AA+(lka)’ ණය ශ්‍රේණිය හිමි කර ගනී

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, රටේ පවතින දැඩි අභියෝගාත්මක තත්වය මධ්‍යයේ වූවද Fitch ශ්‍රේණිගත කිරීම් හි ස්ථාන දෙකක් ඉහළට පැමිණෙමින් ‘AA+(lka)’ ණය ශ්‍රේණිය හිමි කර ගෙන ඇත.

විචක්ෂණශීලී මූල්‍ය හා කළමණාකරණ උපායමාර්ගයන්හි ප‍්‍රතිඵලයක් ලෙස, HNB ශ්‍රේණිගත ස්ථාන දෙකකින් ඉහළට පැමිණීමත් සමග ශ්‍රී ලංකාවේ ඉහළම ශ්‍රේණිගත බැංකු කිහිපය අතර ස්ථානගත වීමට හැටන් නැෂනල් බැංකුවට හැකි විය. Fitch ශ්‍රේණිගත කිරීම මඟින් මෙම කාණ්ඩයට ලබා දී ඇති ණය ශ්‍රේණිය ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට සහ වත්මන් මෙහෙයුම් පරිසරය සහ ආයෝජක විශ්වාසය තවත් වර්ධනය කරනු ඇත.

‘‘HNB හි මෙම ජාතික දිගු කාලීන ශ්‍රේණිගත කිරීම් හි ඉහළට යෑම තුළින් පෙර නොවූ විරූ අස්ථාවර වාතාවරණයක බැංකුව සතු මූල්‍ය ශක්තිය හොඳින් පිළිබිඹු කරන බව අප විශ්වාස කරනවා. කොවිඞ්-19 වසංගතයෙන් ඇති වූ අහිතකර ප‍්‍රතිඵල ශ්‍රී ලාංකික ආර්ථිකයේ සෑම අංශයකටම තවමත් බලපෑම් එල්ල කරමින් පවතී,’’ යනුවෙන් HNB කළමනාකාර අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිළධාරී, ජොනතන් අලස් මහතා පැවසුවේය.

කොවිඞ් හේතුවෙන් රට වසා දැමූ කාලය තුළ, ඩිජිටල් බැංකුකරණය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින්, මෙන්ම SOLO, MOMO සහ AppiGo වැනි නව්‍ය විසඳුම් තුළින් දිවයින පුරා විසිර සිටින ගනුදෙනුකරුවන්ට අත්‍යවශ්‍ය බැංකු කටයුතු සහ ගනුදෙනු සේවා වෙත පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි බව සහතික කළ පළමු හා වඩාත් ක‍්‍රියාකාරී ආයතන අතර HNB ප‍්‍රමුඛතම ආයතනයක් විය.

එසේම, කොවිඞ්-19 වසංගතය හේතුවෙන් මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ දෙන පුද්ගලයින්ට හා ව්‍යාපාරයන් සඳහා ණය පහසුකම් ප‍්‍රතිව්‍යුහගත කිරීම සඳහා බැංකුව ගනුදෙනුකරුවන් සමඟ පූර්ව සූදානමකින් යුක්තව කටයුතු කර ඇත.
‘‘HNB දිවයිනේ හොඳම ප‍්‍රාග්ධන බැංකුවලින් එකක් වන අතර, ඩිජිටල් බැංකුකරණය කෙරෙහි අපගේ දැඩි අවධානය යොමු කිරීම සහ අපගේ ගනුදෙනුකරුවන්ට උපකාර අවශ්‍යම මොහොතේදී සහාය දැක්වීමට ඇති නොසැලෙන කැපවීම සැලකිල්ලට ගෙන, වත්මන් අවදානම් තත්වයට මුහුණ දීම සඳහා අප උපායමාර්ගිකව සූදානම් වී සිටින අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකය පහළ මට්ටමේ සිට ශක්තිමත් කිරීමට ක‍්‍රියාකාරී කාර්යභාරයක නිරත වෙනවා’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

2020 මාර්තු 21 අවසන් වන විට බැංකුවේ Tier I සහ සමස්ත ප‍්‍රාග්ධන අනුපාත පිළිවෙළින් 13.85% සහ 17.25% වන අතර එය නියාමන අවම අවශ්‍යතා මට්ටමට වඩා ඉහළ මට්ටමක් වෙයි.

Business Today සඟරාව විසින් ශ්‍රී ලංකාවේ හොඳම සමාගම් අතර අංක 1 ව්‍යාපාරික ආයතනය ලෙස HNB නම් කරන ලද අතර වසර ගණනාවක් පුරා හැටන් නැෂනල් බැංකුව සමස්ත බැංකු ක්ෂේත‍්‍රය තුළ පෙන්වු සාර්ථකත්වය වෙනුවෙන් සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. ඒෂියන් බෑන්කර් සඟරාව මගින් පිරි නැමූ ‘ශ‍්‍රී ලංකාවේ හොඳම කළමනාකරණය සහිත බැංකුව’ සම්මානය මෙන්ම හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා ‘CEO Leadership Achievement’ සම්මානය මගින් ද පිදුම් ලැබීම හැටන් නැෂනල් බැංකුවේ සාර්ථකත්වයට දිය හැකි හොඳම උදාහරණ වේ.

මීට අමතරව තවත් සම්මාන රැසකින් පිදුම් ලබා ඇති හැටන් නැෂනල් බැංකුව යුරෝමනී සඟරාව මගින් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ද නම් කරන ලදී. එමෙන්ම එක්සත් රාජධානියේ ප‍්‍රමුඛතම බැංකු සඟරාවක් වන ‘ද බෑන්කර්’ සඟරාව මගින් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට අඛණ්ඩව තුන්වන වරටත්, ශ්‍රී ලංකාවේ පිහිටි ජාත්‍යන්තර වානිජ්‍ය මණ්ඩලය (International Chamber of Commerce, Sri Lanka) හා කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) විසින් ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම අගය කරන ලද සමාගම් 10’ අතරට ද HNB නම් කරන ලදී. HNB හි විශිෂ්ටතවය ප‍්‍රකට කළ තවත් අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකාවේ සියලූම බැංකු අභිබවා LMD සඟරාව මගින් Top 100 Club පළමු ස්ථානයට පත් වීම දැක්විය හැකිය. පසුගිය වසර 25 තුළ එකී සමාගමේ කාර්යසාධනය මත පදනම්ව මෙම ඇගයීම සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *