සහල් හිඟයක් ඇති කිරීමට අතරමැදියන්ට ඉඩ දෙන්න එපා

(කොළඹ, ලංකාපුවත්) – සහල් හිඟයක් ඇති කිරීමට අතරමැදියන්ට ඉඩ නොදෙන ලෙස පොලොන්නරුව ගොවීහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිති.

පසුගිය කන්නවලදි ඉහළ අස්වැන්නක් ලැබුණු නමුත් සහල් හිඟයක් මවා පෑමට ඇතැමුන් උත්සහ දරන බව පෙන්වා දෙන ගොවිහූ එම උත්සාහයට ඉඩ දිය යුතු නැති බවත් පවසති. පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වඳින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස පොලොන්නරුව සිරිපුර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ දී ඊයේ (05) පැවති ජන හමුවට එක් වූ අවස්ථාවේදී ගොවීහූ ජනාධිපතිවරයාගෙන් මේ ඉල්ලීම කළහ.විනාශ වෙමින් පැවති සහල් ගබඩා රජය පත්වීමෙන් පසු ප්‍රතිසංස්කරණයට සහ වී මිලදී ගැනීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කළ බව ජනාධිපතිවරයා ගොවීන් සමඟ කියා සිටියේය. ඉදිරියේෙදී වී ගොවියා ද රැක ගනිමින් ගැටලුවක් ඇති නොවන ආකාරයෙන් ක්‍රියාකිරීමට රජය සැලසුම් කර ඇති බව රාජපක්ෂ මහතා පැවසීය.

පොදුජන පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින හිටපු රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ, හිටපු නියෝජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් සහ අපේක්ෂක ජගත් සමරවික්‍රම මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ. පොදුජන පෙරමුණේ අපේක්ෂක ජයසිංහ බණ්ඩා මහතා මහියංගණය, පොලොන්නරුව මාර්ගයේ කලුකැලේ ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජන හමුවට ද ජනාධිපතිවරයා සහභාගී විය.

මනම්පිටිය ප්‍රතිභා ශාලාවේ පැවති ජන හමුවට එක් වූ ජනාධිපතිතුමාට ප්‍රදේශයේ මහා සංඝරත්නය යෝජනාවලියක් භාර දුන්හ. ජනාධිපතිවරයා වෙත ආශිර්වාද කරමින් සෙත් පිරිත් සජ්ජායනාවක් ද සිදු කෙරිණ.

ප්‍රතිභාශාලාව ඉදිරිපිටට රැස්ව සිටී ගුරුවරු පිරිසක් ජනාධිපතිතුමා හමු වූ අතර ඔවුහු ද යෝජනාවලියක් භාර දුන්හ. හිටපු රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

හිටපු ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න මහතා කදුරුවෙල ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජන හමුවට ජනාධිපතිතුමා අද දහවල් සහභාගී විය. ප්‍රදේශයේ ඇති වැව් පිළිසකර කර දෙන ලෙස රැස්ව සිටී ජනතාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

ගල්වල හන්දිය, තඹාල ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජන හමුවට එක්ව සිටී ජනතාව සමඟ ද ජනාධිපතිතුමා කතා බහක නිරත විය.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සංවිධාන කළ ජනහමුවක් පොලොන්නරුව දීප උයන ඉදිරිපිට පැවැත්විණ. එම අවස්ථාවට ද එක් වූ ජනාධිපතිතුමා රැස්ව සීටී ජනතාව සමඟ සුහද පිළිසඳරක නිරත වෙමින් තොරතුරු විමසා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *