සහනාධාර යටතේ ගෙනා අතිරික්ත පොහොර සහන මිලකට ගොවීන්ට

(කොළඹ, ලංකාපුවත්) – රජයේ පොහොර සමාගම් විසින් වී වගාවට වන පොහොර සහනාධාර වැඩසටහන යටතේ ආනයනය කර, ඉතිරිව පවතින පොහොර තොග ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන විසින් මිල දී ගෙන කිලෝග්‍රෑම් 50ක පොහොර මල්ලක් රුපියල් 1000ක මිලකට ගොවීන්ට අලෙවි කිරීමට ක්‍රියාමාර්ග සකසා තිබේ.

මෙම ක්‍රියාමාර්ග පිළිබඳ මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංව‍ර්ධන ඇමැති චමල් රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත තොරතුරු ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ අමාත්‍ය මණ්ඩල අවධානය යොමු වූ බව තොරතුරු සහ ජනමාධ්‍ය ,උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියයි.

දැනට ක්‍රියාත්මක පොහොර සහනාධාර වැඩ පිළිවෙළ යටතේ අක්කර 5ක් දක්වා වන වී වගාවන් සඳහා පොහොර සහනාධාරය යටතේ පොහොර ලබා දෙන අතර ඊට වැඩි භූමි ප්‍රමාණයන් වෙනුවෙන් අවශ්‍ය පොහොර විවෘත වෙ‍ළෙඳ පොළෙන් මිල දී ගත යුතුය. මෙම තත්ත්වය යටතේ ඇතැම් අවස්ථාවල විවෘත වෙළෙඳ පොළේ අනෙකුත් බෝග සඳහා භාවිත කරනු ලබන පොහොරවල හිඟයක් නිර්මාණය වී ඇති අතර, විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ගොවිතැන් කරනු ලබන භූමි ප්‍රමාණය ඉහළ යාම නිසා පොහොර ඉල්ලුම වැඩි වී ඇත.

ඒ අනුව, රජය අපහසුතාවට පත් නොවන පරිදි ගොවි ජනතාවට අවශ්‍ය අතිරේක පොහොර තොග මිල දී ගැනීමට හැකි වනු පිණිස මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *