අපි බලයට පැමිණි ගමන් ගොවි ජනතාව රකින්න පළමු පියවර තැබුවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – 2005-2015 අපේ ආණ්ඩුව යටතේ දැයට බත සපයන ගොවි ජනතාවටත් රටේ කෘෂිකර්මාන්තයටත් අපි ඉහළ වටිනාකමක් ලබා දුන් නමුත් යහපාලන ආණ්ඩුව බලයට පැමිණ ගම්මිරිස් ආදී භෝග ප්‍රති-අපනයනය කරලා ගොවි ජනතාවගේ ආර්ථිකය බිඳ දැමු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

කෑගල්ල-ගලිගමුව ප්‍රදේශයේ ඊයේ(09) පැවැති ජනහමුවකට එක්වෙමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැතිවරයා මෙසේ ද කියා සිටියේය.

“හැමදාම එජාපය බලයට ඇවිත් රටේ ගොවිතැනට කෘෂිකර්මාන්තයට මේ විනාශය කළා.

අපි බලයට පත් වූ වහාම මේ ප්‍රති-අපනයන වැඩපිළිවෙළ නතර කරලා දාලා ගොවි ජනතාවගේ ආර්ථිකය සවිබලගන්වන පළමු පියවර තැබුවා. දේශීය ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න අපි සැලසුම් කළේ මේ රටේ රබර් නිෂ්පාදකයාගේ ආර්ථිකය නංවන්නයි.

අපි එදා සටන් කළේ තුවක්කුවක් ගත් ත්‍රස්තවාදියා සමග මිස දෙමළ ජනතාව සමග නෙමෙයි. ප්‍රභාකරන්ලා උතුරේ කුඩා දරුවන්ගේ කරේ එල්ලා තිබූ සයනයිට් කරලා ගලවා දැමීමට ලැබීම අප ලද භාග්‍යයක්. අද සියලු දෙනාට කිසිම බයක් සැකක් නැතිව රටේ ඕනෑම තැනකට යාමට ඒමට හැකියාවක් ලැබුණේ ත්‍රස්තවාදය අවසන් කළ නිසායි.

රටේ අනාගත සංවර්ධන ඉලක්ක ජයගන්න ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා හැකි පක්ෂයට බලය ලබා දෙන්න කියලා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *