තැපැල් ඡන්දය ඇරඹෙයි – රාජාංගණයට ජන්දය නැහැ

(කොළඹ, ලංකාපුවත්) –මෙවර මහමැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (13) සිට ආරම්භ වේ.

ඒ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලෙවල කාර්ය මණ්ඩල වලටයි.

කෙසේ වෙතත්, රාජාංගණය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ අනුරාධපුර – රාජාංගණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයේ අද දිනයේ තැපැල් ඡන්දය නොපැවැත්වීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත්, සෙසු ප්‍රදේශවල දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් තැපැල් ඡන්දය සලකුණු කිරීම සිදුකරන බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා දින 07ක් වෙන් කර ඇති අතර, ඒ අනුව, අද, හෙට, අනිද්දා සහ 16, 17 මෙන්ම 20, 21 යන දිනවල දී තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව සලසා දී තිබේ.

සියලුම පොලිස් ස්ථාන, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල වල හැර සෙසු රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට සහ අනිද්දා යන දිනවල දී සිදුකෙරේ.

පොලිස් ස්ථානවල, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්ද හිමියන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබා දී ඇත්තේ ජූලි 16 සහ 17 වනදායි.

එම දින වල දී ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්දදායකයෙකුට ජුලි මස 20 සහ 21 වනදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල දී තැපැල් ඡන්දය භාවිත කළ හැකිය.

මේ අතර, තැපැල් ඡන්ද මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල් අදාළ දිනවල විවෘත කර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ රාජකාරී කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම විදුහල්පතිවරුන්ගේ වගකීමක් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

මෙවර මහ මැතිවරණයට අදාළව තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය සේවකයින් 705085ක් සුදුසුකම් ලබා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × two =