රාජ්‍ය සේවකයාගේ ආරක්ෂාව ව්‍යවස්ථාවෙන්ම ලබා දෙනවා

(කොළඹ, ලංකාපුවත්) –රට වෙනුවෙන් නොබියව තීන්දු තීරණ ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවක් යටතේ රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ව්‍යවස්ථාව තුළින්ම ආරක්ෂාව සැපයීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (12) ප්‍රකාශ කළේය.

යහපාලන රජයේ සමයේ සිදු වූ දේශපාලන පළිගැනීම් හේතුවෙන් තීන්දු තීරණ ගැනීමට බියෙන් සිටි රාජ්‍ය සේවකයින්ට නැති වූ සියලු අයිතිවාසිකම් ලබාදීමට කටයුතු කරන බවද රාජපක්ෂ මහතා පැවැසීය. හෙතෙම මේ බව පැවැසුවේ මහරගම දී ඊයේ (12) පැවැති ජනහමුවක් අමතමිනි.

1977 සිට 2005 දක්වා සියලු ආණ්ඩු රාජ්‍ය අංශය බෙලහීන කිරීමට කටයුතු කළ බවත් රාජ්‍ය අංශයට අයත් ආයතන, ජාතික සම්පත් පෞද්ගලීකරණය කිරීමට කටයුතු කළ බවත් කී රාජපක්ෂ මහතා, මේ නිසා රාජ්‍ය සේවකයන් හැමදාමත් මහපාරට වැටුණු බවත් කීවේය. 1983 ජුලි වර්ජකයන් 40000 ක් එක රැයින් ගෙවල්වලට යැවු යුගයක් තිබුණු බව මෙහිදී මෙනෙහි කළ රාජපක්ෂ මහතා, ඇතැම් ජුලි වර්ජකයන් ජීවත් විය නොහැකි නිසා සිය දිවි නසා ගත් බවත් පැවැසීය.

යහපාලන රජය රාජ්‍ය සේවකයින්ට එවැනි ම පහත් ආකාරයට සැලකූ බව පැවසු අගමැතිවරයා, රාජ්‍ය සේවය ශක්තිමත් වන්නේ, රාජ්‍ය සේවය ගැන විශ්වාසයක් ඇති වන්නේ 2005 වර්ෂයේ සිට බව ද අවධාරණය කළේය.

යහපාලන ආණ්ඩුව රජයේ සේවකයන් ගැන සැකයෙන් බලා බලයට ආව ගමන් රජයේ ප්‍රධාන රාජ්‍ය නිලධාරියා ඇතුළු දහස් ගණන් රාජ්‍ය නිලධාරින්ව FCID ගෙන්වලා ප්‍රශ්න කරලා වද දුන් බව ද හෙතෙම පැවැසීය. ඒ නිසා යහපාලන ආණ්ඩුව කාලේ රජයේ නිලධාරින් වැඩ නොකර, තීන්දු තීරණ නොගෙන සිටි බව කී ඒ මහතා මේ තත්ත්වය වෙනස් කරන්නට රජ්‍ය අංශ ශක්තිමත් කරන්නට ව්‍යාවස්ථාමය වෙනස්කම් සිදු කරන බව ද කීවේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කළ රැකියා දශලක්ෂයක් ලබා දීමේ වැඩපිළිවෙළ ද මැතිවරණය හේතුවෙන් නතර කරන්නට සිදු වුවත් එය මැතිවරණයෙන් පසුව කඩිනමින් ආරම්භ කරන බව ද මෙහිදී අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six + eight =