කොවිඩ් වසංගතය දේශපාලන මාතෘකාවක් කර ගන්න එපා

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් වසංගතය මැතිවරණ වේදිකාවේ දේශපාලන මාතෘකාවක් කර නොගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටියි. දෙවැනි කොවිඩ් රැල්ලක් ගැන ප්‍රචාරය කිරීමට මැතිවරණ වේදිකාව භාවිත කරමින් තිබෙන බව පවසන අගමැතිවරයා ජනතාව අනවශ්‍ය ලෙස බියවැද්දීම නොකළ යුතු බවත් පෙන්වා දෙයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ අරලියගහ මන්දිරයේදී ඊයේ (16) සාකච්ඡාවකට එක් වෙමිනි.

මේ දිනවල නැවතත් කොරෝනා රෝගීන් වාර්තා වෙමින් තිබුණ ද පළමු අවස්ථාවේදී මෙන්ම එම වසංගතය පාලනය කර ජනතාවගේ උපරිම ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු සෑම පියවරක්ම ගන්නා බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

මෙවැනි අවස්ථාවක දේශපාලනයට වඩා ජනතාව ගැන සිතා සංවේදීව කටයුතු කිරීම දේශපාලනඥයන්ගේ යුතුකම හා වගකීම බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රටේ ඇති වී තිබෙන සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දැඩි අවධානයෙන් සිට ජනතාව ආරක්ෂා කිරීමට රජය කැපව සිටින බවත් අග්‍රාමාත්‍යවරයා සිහිපත් කළේය.

කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් රට තුළ මතු වූ මතවාද සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ රැලි පැවැත්වීම දින තුනකට අත්හිටුවූ අතර, සෞඛ්‍ය නීතිරීතිවලට යටත්ව මැතිවරණ රැලි නැවත ආරම්භ කිරීමට අදහස් කරන බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

කොවිඩ් වසංගතයේ පළමු කාල සීමාව සාර්ථක ලෙස පසු කළ රජය එම අවසථාවේ දී කොරෝනා මර්දන ඒකකය, අත්‍යවශ්‍ය සේවා ජනාධිපති කාර්ය සාධක බළකාය, රාජ්‍ය හා සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව හා පොලිසිය කැප වීමෙන් එය පාලනය කළ බවත් අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

මෙහි දී බුද්ධි අංශ සහ සෞඛ්‍ය අංශ කළ සේවාවට අග්‍රාමාත්‍යවරයා ප්‍රසාදය පළ කළේය.

ඇමැතිවරුන් වන ආචාර්ය බන්දුල ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ, යුද හමුදාපති සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *