කොවිඩ් හේතුවෙන් මිය යන විගමණික ශ්‍රමිකයින්ටත් වන්දි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රමිකයින්ට සිදුවන මරණ හා විවිධ හානි වෙනුවෙන් නොමිලේ ලබාදෙන සහන රක්ෂණයෙන් 2019 වර්ෂයට අදාළව රුපියල් ලක්ෂ තුන් දහස් අටසිය විස්සක් ගෙවා ඇති බව, කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ අදහස් පළකළේ, ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගතවන ශ්‍රමිකයින්ට කාර්යාංශය මගින් නොමිළේ ලබා දෙනු ලබන “සහන” රක්ෂණාවරණයේ නව ප්‍රතිලාභ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (16) කාර්යාංශයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

කාර්යාංශයේ ලියාපදිංචි කාලය තුළ සිදුවූ හානි වෙනුවෙන් 2622 දෙනෙකුට රුපියල් ලක්ෂ 3678 ක් රක්ෂණ ප්‍රතිලාභ යටතේ ගෙවා ඇත. එමෙන්ම ලියාපදිංචි කාලය ඉක්මවා සිටියදී සිදුවූ මරණ හා විවිධ හානි වෙනුවෙන් පුද්ගලයින් 67 දෙනෙකුට කාර්යාංශයේ විශේෂ සුභසාධන අරමුදල යටතේ (Workers Welfare Fund) රුපියල් ලක්ෂ 142ක් ගෙවා තිබේ.

මේ අනුව විවිධ හේතු නිසා මරණයට පත්වූවන් 204 දෙනෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 965ක්, අසනීප හා වදහිංසා නිසා කරදරයට පත්වූවන් 2404 දෙනෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 2673ක් හා අනතුරු වන්දි ලෙස පුද්ගලයින් 14 දෙනෙකුට ලක්ෂ 90ක් රක්ෂණ වන්දි ලෙස ගෙවා ඇත.

2020 පළමු මාස 6 සඳහා කාර්යාංශය විසින් විදේශ ගත ශ්‍රමිකයින් 40,143 ක් වෙනුවන් රුපියල් ලක්ෂ 263ක් රක්ෂණ වාරික වශයෙන් ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවට ගෙවා තිබේ.

කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගතවන ශ්‍රමිකයින් වෙනුවෙන් නොමිළේ ජීවිත රක්ෂණයක් ලබාදෙන අතර, එහි ප්‍රතිලාභ ලෙස ඉහත මුදල් ගෙවා තිබේ. කාර්යාංශයේ ලියාපදිංචි කාලය වසර 2,3 අනුව වෙනස් වන අතර, එම කාලයන් ඉක්මවා ගොස් ලියාපදිංචි නොවී තවදුරටත් විදේශ රැකියාවේ යෙදී සිටියදී සිදුවන හානි වෙනුවෙන්, රක්ෂණයෙන් වන්දි මුදල් හිමි නොවේ. එහෙත් එවැනි පුද්ගලයින්ට කාර්යාංශයේ විශේෂ සුභසාධන අරමුදල මගින් සීමාසහිතව වන්දි පිරිනැමේ. ඒ අනුව කාර්යාංශයේ ලියාපදිංචිය ලබා එය අලුත් නොකර සිටියදී සිදුවූ මරණ 39ක් සඳහා රුපියල් ලක්ෂ 104ක් ගෙවා ඇත. අසනීප තත්ත්වයේ පසුවූ ශ්‍රමිකයින් 25 දෙනෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 35ක් ගෙවා තිබේ.

කොවිඩ් 19 වැළඳී මිය යන අය වෙනුවෙන්ද කාර්යාංශය වන්දි පිරිනමන බවද කමල් රත්වත්තේ මහතා සඳහන් කළේය. ඒ අනුව කොවිඩ් 19 වැළඳී මිය යන අය වෙනුවෙන්, අවමංගල්‍යය කටයුතු සඳහා රු.40000.00 පිරිනැමේ. ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව මගින් ඇති කර ගෙන තිබෙන 2019 ගිවිසුමට අනුව, සාමාන්‍ය මරණයකදී ගෙවන වන්දිය වන රුපියල් ලක්ෂ 5, කොවිඩ් 19 රෝගය වැළදී මිය යන ශ්‍රමිකයින් වෙනුවෙන්ද ගෙවන අතර, දැනටමත් ඒ සඳහා 20 දෙනෙකුගේ ලිපිගොනු සකස් කරගෙන යමින් තිබේ. කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ ගතවූවන්ට මෙම ප්‍රතිලාභය හිමිවන අතර, ලියාපදිංචිය ලබා එහි කාලය ඉක්මවූ අය වෙනුවෙන්, විශේෂ සුභසාධන අරමුදල යටතේ රුපියල් ලක්ෂ 3 බැගින් වන්දි පිරිනැමේ. 2020 මාර්තු 16 න් පසුව ලියාපදිංචිය ලබා විදේශ ගතවූවන් වෙනුවෙන් මෙම වන්දිය රුපියල් ලක්ෂ 6 දක්වා වැඩි කර ඇත.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා ප්‍රකාශ කළේ, කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගතවන ශ්‍රමිකයින් වෙනුවෙන් ඉහළ ප්‍රතිලාභ සහිත රක්ෂණ සැලසුමක් සකස් කරමින් සිටින බවයි. ඒ අනුව කොවිඩ් වැනි වසංගත තත්ත්වයන් හමුවේ අසරණභාවයට පත්වන විදේශ ශ්‍රමිකයින්ට වැඩි ප්‍රතිලාභ ඉන් ලබාදෙන බවත්, විශ්‍රාම වැටුපක් ලබාදීම සඳහාද මේ දිනවල සැලසුම් කරගෙන යන බව සඳහන් කළේය. දායක විශ්‍රාම වැටුපක් ලෙස එය ක්‍රියාවට නංවන අතර, විශ්‍රාම වැටුප ආරම්භ වූ දා සිට වසර 10ක් පසුව අදාළ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ හිමිවන බවද ජගත් වැල්ලවත්ත මහතා සඳහන් කළේය.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩබ්.එම්.වී.වන්සේකර හා ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවේ ප්‍රධාන විධායක නිළධාරී චන්දන අලුත්ගමගේ යන මහත්වරුන්ද මෙම මාධ්‍ය හමුවට එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *