එළවළු ගොවීන්ගේ අනාගතය සුරක්ෂිත කරනවා

(කොළඹ, ලංකාපුවත්) – එළවළු ගොවීන්ට සුරක්ෂිත අනාගතයක්උදා වන අයුරින් සිය අස්වැන්න සඳහා නිසි මිලක් ලබාගත හැකි ක්‍රමවේදයක් සකසන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (21) පැවැසීය. එළවළු, පලතුරු සහ සෙසු භෝග දිවයින පුරා බෙදාහැරීම ගොවියා සහ පාරිභෝගිකයා යන දෙදෙනාම ආරක්ෂා වන අයුරින් සිදු විය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුර කරනු පිණිස ඊයේ(21) නුවරඑළිය දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය ඇමැති සී.බී. රත්නායක සහ නිමල් පියතිස්ස මහත්වරුන් විසින් වලපනේ නගරයේ සතිපොළ භූමියේ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගී වෙමින් ජනාධිපතිවරයා එසේ කියා සිටියේය.

රාජ්‍ය බැංකු ණය සම්පාදනය තමන්ට සහනයක් සැලසෙන පරිදි ඉටු වෙන්නේ නැහැ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල පුරප්පාඩු රැසක් තිබෙනවා. ඒවාට පත්ව එන පිරිස් කෙටි කලකින් මාරුවීම් ගෙන වෙනත් පළාත්වලට යනවා. මේ නිසා ප්‍රදේශයේ ජනතාවට සිය අවශ්‍යතාව ඉටුකර ගැනීමේ දී මහත් ගැටලුවක්ව ඇතැයි ගොවී ජනතාව ජනාධිපතිවරයා දැනුවත් කළහ.

පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණය සංවර්ධනය කර, එය පාසල සමඟ යා කරමින් පාලමක් ඉදිකර දෙන ලෙස සිසුන් කළ ඉල්ලීම ජනාධිපතිවරයා යුද හමුදාපතිවරයා වෙත යොමු කළ අතර හෙටම ඒ ගැන සොයා බැලීමටත්, කඩිනමින් ඉල්ලීම ඉටුකරදීමටත් පියවර ගන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. ප්‍රදේශයේ ජනතාව ඉදිරිපත් කළ ගැටලු කඩිනමින් විසඳීමට ද ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට දැනුම් දෙනු ලැබීය.

හිටපු ඇමැති එස්.බී. දිසානායක මහතා රිකිල්ගස්කඩ ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිවරයාට මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද කළහ.

වලපනේ රෝහලට භික්ෂු වාට්ටුවක් ඉදිකර දෙන්නැයි සංඝරත්නය කළ ඉල්ලීම ගැන විමර්ශනය කොට වාර්තා කරන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට නියම කළේය.

අපේක්ෂක සතාසිවම් සුප්පයියා මහතා කඳපොළ පොළ භූමියේ සංවිධාන කර තිබූ ජන හමුවට ද ජනාධිපතිවරයා සහභාගී වූ අතර රැස්ව සිටි ප්‍රදේශවාසී දෙමළ ජනතාව එතුමන්ව මහත් හරසරින් පිළිගත්හ. ජනාධිපතිවරයාට ආශිර්වාද කරමින් සර්ව ආගමික වතාවත් ද සිදු විය.

ගුණාත්මක බවෙන් යුත් බීජ අර්තාපල් හිඟයට විසඳුමක් දෙන ලෙස ද ගොවීහු එතුමාගෙන් ඉල්ලා සිටියහ.

කඳපොළ සිට නුවරඑළිය දක්වා යන අතරතුර ජනාධිපතිවරයා මාර්ගය දෙපස රැස්ව සිටි ජනතාව සමඟ ද සුහද පිළිසඳරක නිරත විය.

අවට කඳු පංතියේ සුන්දරත්වයට හානි නොවන අයුරින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පරිසරය රැක දෙන ලෙස නුවරඑළිය ග්‍රෙගරි වැව අසළ සංවිධාන කර තිබූ ජන රැළියට සහභාගී වූ ජනාධිපතිවරයාගෙන් ජනතාව ඉල්ලා සිටියහ. ස්වයං රැකියාවක් ලෙස කාන්තාවන් පිරිසක් එක්ව පවත්වාගෙන යන “බජට් පැක්” එළවළු සහ පළතුරු ව්‍යාපෘතිය ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය. බිඳ වැටී ඇති සංචාරක ව්‍යාපාරය සහ ඉඩම් ඔප්පු නොතිබීමෙන් පැන නැගී ඇති ගැටළු ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරිණ. හිටපු රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක සහ එස්.බී. දිසානායක මහතා ද මේ අවස්ථාවන්ට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *