මුහුදු කැස්බෑවන් සංරක්ෂණය කිරීමේ පානම වැඩසටහනට කොමර්ෂල් බැංකුවේ සහයෝගය

(කොළඹ, ලංකාපුවත්) –නැගෙනහිර මුහුදු තීරයේ පානම ප‍්‍රදේශයේ සිදුකරන මුහුදු කැස්බෑවන් සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් සඳහා සහයෝගය දැක්වීමට කොමර්ෂල් බැංකුව ඉදිරිපත්වී සිටින අතර මෙමගින් මෙම සංරක්ෂණ වැඩසටහන කුමන ගම්මානයේ සිට පානකලා කළපුව දක්වා පුළුල් කිරීමේ අවස්ථාව උදාවනු ඇත.

මෙම ව්‍යාපෘතිය ශ‍්‍රී ලංකා වනජීවී සහ සාගර සම්පත් සංරක්ෂණය (WORC) විසින් සිදුකරන අතර එය මීට පෙර සංරක්ෂණය නොකෙරුණු කිලෝ මීටර් 03 ක වපසරියක් දක්වා විහිදෙයි. මෙම ප‍්‍රදේශය තුළ Videlicet Green,Olive Ridley,Loggerhead සහ Leatherback යන කැස්බෑවන් වර්ග 04 ගැවසෙන අතර මෙම සංරක්ෂණ වැඩසටහන සිදුකරන්නේ මෙම මුහුදු ප‍්‍රදේශය තුළයි.

මුහුදු කැස්බෑවන්ගේ කූඩු සහ බිත්තර ඌරන්, නරියන්, මුගටියන්, තිත් තලගොයන් සහ සුනඛයින්ගෙන් ආරක්ෂා කරගැනීම මෙම සංරක්ෂණ වැඩසටහනේ කෙටි කාලීන අරමුණයි.

කැස්බෑවන්ගේ කූඩු වන සතුන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා ඒ වටා යකඩ ආවරණ ඉදිකිරීම, එම කූඩු ආරක්ෂා කර ගැනීම සඳහා දිවා රාත‍්‍රී මුර සංචාරවල නිරතවිම සහ කැස්බෑ බිත්තර එකතු කරන්නන් කැස්බෑ කූඩු ආරක්ෂා කරන්නන් ලෙස පුහුණු කිරීම මෙම සංරක්ෂණ වැඩසටහනේ අරමුණු ඉටුකර ගැනීම සඳහා සිදුකරන ක‍්‍රියාකාරකම් වලට ඇතුළත් වේ. එසේම, මෙම වැඩසටහන යටතේ අරමුණු ජයගැනීම සඳහා ක්ෂේත‍්‍රයේ දත්ත රැස්කිරීම, පාසැල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, ක්ෂේත‍්‍ර නිරීක්ෂණයන් සිදුකිරීම, කැස්බෑ කූඩු නිරීක්ෂණය කිරීම සහ වාර්තාකරණය යන ක‍්‍රියාකාරකම්ද සිදුකරන බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.

මෙම ප‍්‍රදේශයේ විනාශයට පත්වී තිබෙන පාරිසරික පද්ධතිය යථාතත්ත්වයට පත්කරමින් පරිසරය රැකගැනීමේ සංස්කෘතියක් වෙත එහි ජීවත්වන ප‍්‍රජාව යොමුකිරීම මෙම වැඩසටහනේ සමස්ත අරමුණ වේ. මෙම වැඩසටහන සඳහා අරමුදල් සැපයීමට අමතරව කොමරෂල් බැංකුව විසින් ප‍්‍රජාව සමග සබඳතා ගොඩනගා ගැනීමට, අධ්‍යාපනය සහ දැනුවත් කිරීම ප‍්‍රවර්ධනය කිරීමට, මෙම ව්‍යාපෘතියට අදාළව තිරසාර ජීවන සහ ව්‍යාපාරික අවස්ථාවන් හඳුනා ගැනීමට සහ එවැනි අවස්ථාවන් ඉක්මනින් ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකා වනජීවී සහ සාගර සම්පත් සංරක්ෂණයට සහයෝගය දක්වයි. මේ පිළිබඳව අදහස් දක්වමින් බැංකුව සඳහන් කරන්නේ මෙම වැසටහනේ හැකි සෑම අංශයක් සඳහාම සහයෝගය දැක්වීමට බැංකුව සූදානමින් සිටින බවයි.

මෙහිදී, මෙම වැඩසටහනේ කූඩු සංරක්ෂණය කිරීමේ කටයුතු අධීක්ෂණය කරන ව්‍යාපෘති සම්බන්ධීකාරකවරයාට සහ ක්ෂේත‍්‍ර නිළධාරීන්ට ගමන්, සමීක්ෂණ, නවාතැන් සහ ආහාර සඳහා දීමනා ගෙවීමටත් නැවත ආරෝපණය කළහැකි විදුලි පන්දම් සහ යකඩ කූඩු මිලදීගැනීමටත්, පාසැල් දැනුවත් කිරීමේ වැඩසටහන් සහ ප‍්‍රජාව දිරිමත් කිරීමට ක්ෂේත‍්‍ර චාරිකාවන් සිදුකිරිමටත් කොමර්ෂල් බැංකුව විසින් මූල්‍ය සහයෝගය ලබාදෙයි.

වනජීවී සහ සාගර සම්පත් සංරක්ෂණය විසින් මහාචාර්ය කේ.බී. රණවන මහතා සහ විමුක්ති වීරතුංග මහතාගේ අධීක්ෂණය සහ උපදෙස් යටතේ පානම මුහුදු තීරයේ මෙම මුහුදු කැස්බෑවන් සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය 2013 වසරේදී ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන සඳහා මූල්‍ය සහාය ලබාදෙන ආයතනවල සහයෝගය මත මෙය ඉදිරියට රැගෙන ගිය අතර මෙහිදී කැස්බෑ බිත්තර එකතු කරන්නන් හඳුනා ගනිමින් කැස්බෑ බිත්තර ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව ඔවුන්ට අවබෝධය ලබාදී ඔවුන්ව කැස්බෑ කුඩූ ආරක්ෂා කරන්නන් බවට පත්කිරීම මෙම වැඩසටහන යටතේ සිදුකර තිබීම කැපී පෙනේ. මෙම සංරක්ෂණ වැඩසටහන මගින් පානම කළපු කටේ සිට කුමන ගම්මානය දක්වා කිලෝ මීටර් 03 ක පමණ ප‍්‍රදේශය ආවරණය කර ඇත. මෙම වැඩසටහන ආරම්භ කෙරුණු 2013 වසරේදී කැස්බෑ බිත්තර 13,564 ක් අතුරින් අභිජනනය කෙරුණු කැස්බෑ පැටවුන්ගේ ප‍්‍රමාණය 12,265 ක්වූ අතර එය 2018 වසර වනවිට කැස්බෑ බිත්තර 17,500 ක් දක්වාත් අභිජනනය කෙරුණු පැටවුන් ප‍්‍රමාණය 15,700 ක් දක්වාත් වර්ධනය වී තිබේ. කොමර්ෂල් බැංකුව සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමින් මේ වනවිට සිදුකරන සංරක්ෂණ වැඩසටහන තවත් කිලෝ මිටර් 03 ක ප‍්‍රමාණයක් ආවරණය කර තිබෙන අතර මේ දක්වා කැස්බෑ පැටවුන් 11,000 ක් පමණ මුහුදට මුදාහැර තිබේ.

ලෝකයේ සිටින කැස්බෑ විශේෂ 07 ක් අතුරින් 04 ක්ම මෙම මුහුදු තීරයට පැමිණ කූඩු තනන නිසා ශ‍්‍රී ලංකා වනජීවී සහ සාගර සම්පත් සංරක්ෂණය විසින් පානම ප‍්‍රදේශයේ සිදුකරන මෙම සංරක්ෂණ වැඩසටහන වඩාත් වැදගත් එකක් ලෙස සඳහන් කළ හැකිය. මොවුන් අතුරින් Leatherback කැස්බෑ විශේෂය වාර්තා වී තිබෙන්නේ වසර විස්සක් තුළ එක් වරක් පමණි. මෙම කැස්බෑ විශේෂ හතම ලෝකයේ වඳවී යන සතුන් ඇතුළත්වන IUCN රතු ලයිස්තුවට ඇතුළත්වී තිබෙන අතර Kemp’s Ridley, Hawksbill සහ Leatherback යන කැස්බෑ විශේෂයන් වඩාත්ම වඳවී යන කැස්බෑ විශේෂයන් ලෙස වර්ගීකරණය කර ඇත.

එසේම, Loggerhead, Green Turtle සහ Olive Ridley යන කැස්බෑ විශේෂයන්ද සැලකෙන්නේ වඳවී යන සතුන් ලෙසයි.

ශ‍්‍රී ලංකා වනජීවී සහ සාගර සම්පත් සංරක්ෂණය ශ‍්‍රී ලංකාවේ පාරිසරික පද්ධතිය සංරක්ෂණය සහ යථාවත් කිරීම ඉලක්ක කරගත් රාජ්‍ය නොවන සංවිධානයකි. මෙම ආයතනය විසින් පානම සහ පොතුවිල් ප‍්‍රදේශවල මුහුදු කැස්බෑවන් සංරක්ෂණය කිරීමේ ප‍්‍රජා වැඩසටහන් සහ කොග්ගල ප‍්‍රදේශයේ කඩොලාන සංරක්ෂණය සහ කඩොලාන යථාතත්ත්වයට පත්කිරීමේ වැඩසටහන් මෙන්ම රුම්මස්සල ප‍්‍රදේශයේ කොරල්පර සංරක්ෂණය සහ කොරල්පර යථාතත්ත්වයට පත්කිරීමේ වැඩසටහන් සඳහා සහයෝගය ලබාදෙයි. ශ‍්‍රී ලංකා වනජීවී සහ සාගර සම්පත් සංරක්ෂණය විසින් මෙම සංරක්ෂණ ස්ථාන නැරඹීම සඳහා සංචාරකයින්ට අවස්ථාව ලබාදී තිබෙන අතර ඒ තුළින් උපයා ගන්නා මුදල් නැවතත් මෙම සංරක්ෂණ වැඩසටහන් සඳහාම ආයෝජනය කරයි.

කොමර්ෂල් බැංකුව විසින් ශ‍්‍රී ලංකා වනජීවී සහ සාගර සම්පත් සංරක්ෂණය විසින් සිදුකරන තවත් සංරක්ෂණ වැඩසටහනක් සඳහා පසුගිය වසරේද මූල්‍ය සහයෝගය ලබාදෙන ලදී. කොග්ගල ප‍්‍රදේශයේ කඩොලාන සංරක්ෂණය සහ යථාතත්ත්වයට පත්කිරීමේ මෙම වැඩසටහන මගින් කඩොලාන ශාඛ 2000 ක්, කඩොලාන ආධාරක 750 ක්, තවත් ශාඛා 500 ක් කොග්ගල වැව තුළ තිබෙන ‘කත්දුව’නම් කුඩා දුපතේ අලූතින් වගා කිරීමට කටයුතු කළේය.
ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 873 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *