මධ්‍යම අධිවේගය කඩිනම් කරන්න

(කොළඹ, ලංකාපුවත්) – මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාර්ග හා මහාමාර්ග, වරාය හා නාවික කටයුතු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ඊයේ (27) නියෝග කළේය.

වන්දි ගෙවීමේ ගැටලු නිසා කොළඹ සිට කුරුණෑගල දක්වා කොටසේ ඉදිකිරීම් අඩාළ වී ඇති හෙයින් ඊට කඩිනම් විසඳුම් සපයා අධිවේගී මාර්ගය තනා නිම කරන්නැයි ජනාධිපතිවරයා විෂයභාර ඇමැතිවරයාට උපදෙස් දුන්නේය. පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට දෙවැනි දිනටත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ චාරිකා කරමින් මාවතගම, මහජන පොළ භූමියේ ඊයේ (27) පැවති ජන හමුවේ දී ජනාධිපතිවරයා එසේ නියම කළේය.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමට ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් අවශ්‍ය බව අපේක්ෂක කමල් පෙරේරා මහතා සංවිධාන කළ හමුවට ජනාධිපතිවරයා සමඟ එක් වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමයින් ප්‍රවාහන සේවා සංගමයේ ඉල්ලීමට අවධානය යොමු කළ ජනාධිපතිවරයා පාසල් වෑන් රථවලට ලීසිං ණය වාරික ගෙවීමට තවත් මාස 06ක සහන කාලයක් ප්‍රදානයට එකඟතාව පළ කළේය.

නිදහස්ගම විද්‍යාදීප සහ දේවාපොළ කුමර යන විද්‍යාලවල ක්‍රිඩාපිටි ප්‍රතිසංස්කරණය කරන්නැයි සිසුන් කළ ඉල්ලීම ඉටුකරන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යුද හමුදාපතිවරයාට උපදෙස් දුන්නේය.

මාවතගම ජාතික පාසලට ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාංගණයක් ඉදිකර දෙන බව ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා ජනාධිපතිතුමා සමඟ පැවසීය. කහපත්වල ක්ෂේත්‍ර නිලධාරින්ට “සේවා පියස” ‍ගොඩනැගිල්ලක් ඉදිකර දීමට ද තීරණය කෙරිණ.

විදුහල්පතිවරයා ඇතුළු සිසුන් පිරිසක් කළ ඉල්ලීමකට අනුව ශ්‍රීමත් ජෝන් කොතලාවල මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසලක් බවට උසස්කරන බව දොඩංගස්ලන්ද මහජන පුස්තකාල ක්‍රීඩාංගණයට පැමිණි ජනාධිපතිතුමා පැවසීය.

මේ අවස්ථාවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 5 =