නව පාර්ලිමේන්තුවේ සියලු තොරතුරු පාර්ලිමේන්තුව රැස්වන දිනයේදීම ජනතාව වෙත ලබාදීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – මහ මැතිවරණයෙන් පසුව පිහිටුවන නව පාර්ලිමේන්තුවේ සියලු ක්‍රියාකාරකම් පිළිබද තොරතුරු පාර්ලිමේන්තුව රැස්වන දිනයේදී ම, ජනතාව වෙත ලබාදීම සදහා ක්‍රමවේදයක් සකසන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

ඊට අමතරව පාර්ලිමේන්තු කාරක සභාවල තොරතුරු ඒ මොහොතේම ජනතාවට ලබාදීම සදහා ඉදිරියේදී කටයුතු කරන බව ද හෙතෙම පැවසීය. පාර්ලිමේන්තුව පිළිබද මහජන විශ්වාසය තවදුරටත් වර්ධනය කිරීම සදහා එය හේතුවන බවද මහලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව මගින් නිර්මාණය කළ “පාර්ලිමේන්තු විත්ති” පුවත් හසුන එළිදැක්වීමේ අවස්ථාවට ඊයේ(27) පෙරවරුවේ ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ කාරකසභා පරිශ්‍රයේදී සහභාගීවෙමින් හෙතෙම මේ බව පැවසීය.

පාර්ලිමේන්තුවේ කටයුතු මහජනතාව වෙත රැගෙන යාම සදහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මකය.ජංගම සේවා ක්‍රියාත්මක කරමින් ඒ සදහා කටයුතු කිරීමට පියවර ගන්නා බවද මහලේකම්වරයා මෙහිදී පැහැදිලි කළේය.

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය පසුගිය වසර 05 තුළදී ම රාජ්‍ය ආයතන අතර හොදම වෙබ් අඩවිය ලෙස සම්මාන ලැබූ බව සදහන් කළ මහලේකම්වරයා, එය තව දුරටත් සංවර්ධනය කිරීම සදහා කටයුතු කරන බවද පැවසීය.පාර්ලිමේන්තුවේ කටයුතු නිර්දේශපාලනිකව, සියයට සියයක් නිවැරදිව සිදු කිරීම ඉතා වැදගත් බවද ඔහු අවධාරණය කළේය.

“පාර්ලිමේන්තු විත්ති” පුවත් හසුන එළිදැක්වීමේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ කාර්‍ය මණ්ඩල ප්‍රධානි හා නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල, සහකාර මහ ලේකම් (පරිපාලන) කුෂාණී රෝහණධීර , සහකාර මහ ලේකම් (ව්‍යවස්ථාදායක සේවා) ටිකිරි ජයතිලක යන මහත්ම මහත්මීහු , සහ පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *