ඩුබායි සහ ඩුබායි වලින් එපිටට සංචාරය කරන මගීන් සඳහා නව මාර්ගෝපදේශන

(කොළඹ, ලංකාපුවත්) –ඩුබායි නගරය ව්‍යාපාරික සහ සංචාරක කටයුතු සඳහා නැවතත් විවෘත කර තිබෙන නිසා එමිරේට්ස් ගුවන් සේවා ජාලයේ ගමනාන්ත සිට මේ වනවිට ඩුබායි නගරයට සංචාරය කළ හැකි අතර මගීන්ගේ සහ ප‍්‍රජාවගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා හඳුන්වාදී තිබෙන නව ගුවන් ගමන් ක‍්‍රමවේදයන් මෙහිදී අනුගමනය කළ යුතුවේ.

මේ අනුව, අගෝස්තු 01 වනදා සිට ගුවන් මගීන් කොවිඞ්-19 රෝගය නොමැති බවට පරීක්ෂණ සහතිකයක් ඉදිරිපත් කළ යුතු අතර, එම පරීක්ෂණය පිටත්වන වේලාවට පැය 96 ක් ඇතුළත ලබාගත යුතු බව එමිරේට්ස් ගුවන් සේවය නිවේදනය කර ඇත.

මෙම පරීක්ෂණ සහතිකය අවුරුදු 12 ට අඩු ළමුන් හෝ ආබාධිත තත්ත්වයට පත්වී සිටින පුද්ගලයින්ට අවශ්‍ය නොවන බව ද ගුවන් සේවය සඳහන් කරයි. මේ අතර, ඩුබායි වෙත හෝ ඩුබායි හරහා එමිරේට්ස්හි අනිකුත් ගමනාන්ත 67 වෙත අගෝස්තු මාසයේදී සංචාරය කරන එමිරේට්ස් මගීන් සෞඛ්‍ය ප‍්‍රකාශන පතක් සම්පූර්ණ කර ගමන ආරම්භ කරන අවස්ථාවේදී ඉදිරිපත් කළ යුතු බවද එම සමාගම පවසයි.

ඕනෑම ගමනාන්තයක් වෙත ගමන් කිරීමේදී මගීන්ට කොවිඞ්-19 වැළඳුනහොත් වෛද්‍ය වියදම් සහ නිරෝධායන පිරිවැය සඳහා ආවරණයක් ලබාදෙන බව එමිරේට්ස් පසුගිය සතියේදී නිවේදනය කළ අතර එවැනි ආවරණයක් ලබාදුන් පළමු ගුවන් සමාගම ලෙසද එමිරේට්ස් කැපී පෙනේ. ගුවන් මගීන් ගමන් කරන පන්තිය සහ ගමනාන්තය පිළිබඳව නොසලකා මෙම ආවරණය නොමිලේ ලබාදීමට සමාගම කටයුතු කර ඇත. 2020 ඔක්තෝම්බර් 31 වනදා දක්වා (පළමු ගුවන් ගමන 2020 ඔක්තෝම්බර් 31 වනදා හෝ එයට පෙර සම්පූර්ණ කළ යුතු වේ)සංචාරය කරන එමිරේට්ස් මගීන්ට මෙම ආවරණය ක‍්‍රියාත්මක කරන අතර ඔවුන් ගමන් අරඹා දින 31 ක් දක්වා මෙම ආවරණය වලංගු වේ.

ගුවනේ සහ ගොඩබිම සිටින සිය මගීන්ගේ සහ සේවකයින්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා එමිරේට්ස් විසින් ගමනේ සෑම අවස්ථාවකදීම මගීන්ගේ ආරක්ෂාව සුරැකෙන ලෙස පුළුල් ක‍්‍රමවේදයක් හඳුන්වාදී තිබෙන අතර ඒ වෙනුවෙන් සනීපාරක්ෂක කට්ටල, මුව ආවරණ, අත් වැසුම්, අත් සේදුම්කාරක සහ බැක්ටීරියා නාශක වයිප්ස් සියළුම මගීන්ට ලබාදීමට කටයුතු කර තිබේ.

සෑම ගුවන් ගමනකම තිබෙන ක‍්‍රමවේදයන් සහ සේවා පිළිබඳ තොරතුරු දැන ගැනීමට පිවිසෙන්න www.emirates.com/yoursafety සංචාරක ගමන් සීමා: සංචාරක ගමන් සීමා ක‍්‍රියාත්මක වනබව මගීන්ට දැනුම් දෙන අතර ඔවුන් ගමන් කරන රටවලට ඇතුළුවීමට නිර්දේශිත අවශ්‍යතා වලට අනුකූල වන්නේ නම් පමණක් මගීන් පිළිගැනීම සිදුකරයි. වැඩිවිස්තර සඳහා www.emirates.com/travelrestrictions වෙබ් අඩිවියෙන් ලබා ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *