Mercedes-Benz සහ Jeep රථවලට විශේෂ ලීසිං දීමනා ලබා දීම සඳහා HNB, DIMO සමඟ එක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB) ගනුදෙනුකරුවන්ට ආකර්ෂණීය පොළී අනුපාත සහ ප‍්‍රතිලාභ සමඟින් විශේෂ ලීසිං පැකේජ ලබා දීමට Mercedes-Benz සහ Jeep රථ සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් එකම සමාගම වන Diesel & Motor Engineering PLC (DIMO) සමඟ අත්වැල් බැඳ ගෙන ඇත.

මෙම සහයෝගීතාවය DIMO විසින් අලෙවි කරන සියලූම අළුත්/මුල් හිමිකාරීත්වය සහිත Mercedes-Benz මෝටර් රථ හා වාහන මෙන්ම Jeep රථ සඳහා ද අදාල වෙයි. ළඟදීම ලැයිස්තුවට එකතු වීමට නියමිත දැනටමත් වාහන තොගවල ඇති නව මාදිලියේ Mercedes-Benz හා Jeep රථ සඳහා ද මෙම දීමනාව පුළුල් කර ඇත. මෙම සහයෝගීතාවය ශක්තිමත් කිරීම සඳහා HNB හි පාරිභෝගික සහ සුළු හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න මහතා සහ DIMO සමූහයේ ප‍්‍රධාන විධායක නිළධාරී, ගහනාත් පණ්ඩිතගේ යන මහත්වරු ‘DIMO 800’ හි පැවති උත්සවයට සහභාගී වූහ.

‘‘DIMO සහ Mercedes-Benz අතර ඇති වූ දිගුකාලීන සබඳතාවය නවෝත්පාදනය හා විශිෂ්ටත්වය මත ගොඩනැගුනු සහයෝගිතාවයක්. මෙම සහයෝගීතාවය වාහනවලට මහත් සේ ලැදි අපගේ විශ්වාසදායී ගනුදෙනුකරුවන්ට ලෝකයේ හොඳම මෝටර් රථ මිලදී ගැනීමටත් අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් අත්විඳීමටත් ගැලපෙන පරිදි සකස් කළ ලීසිං පැකේජ වෙත පිවිසීමට අද්විතීය අවස්ථාවක් ලබා දෙනු ඇති බව අප විශ්වාස කරනවා. අපගේ නම්‍යශීලී, පහසු ලීසිං පැකේජ හරහා මාසික වාරික පදනම මත වාහනයක් හිමි කර ගැනීමට සිහින මැවූ ගනුදෙනුකරුවන්ට නිසැකවම මෙම සහයෝගීතාවය උද්යෝගයක් වනු ඇත,’’ යනුවෙන් HNB හි පාරිභෝගික සහ සුළු සහ මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී, සන්ජේ විජේමාන්න මහතා පැවසුවේය.
‘‘අපගේ ගනුදෙනුකාරභවතුන්ගේ සිහින වාහනය මිලදී ගැනීමට හැකි වන පරිදි, පාරිභෝගිකයා ඉලක්ක කර ගත් සුවිශේෂී යාන්ත‍්‍රණයකට එළැඹීම අපගේ අභිප‍්‍රායයි. HNB සමඟ ඇති කර ගත් මෙම නව සහයෝගීතාවය තුළින් අපට වෙළෙඳපොළේ අඩුම මිල ගණන්වලට වාහන ලබා දිය හැකි අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ සිහින Mercedes-Benz හෝ Jeep රථය අප හරහා මිලදී ගත හැකියි,’’ යනුවෙන් DIMO සමාගමේ සාමාන්‍යාධිකාරී, රජීව් පණ්ඩිතගේ මහතා පැවසුවේය.

DIMO විසින් HNB ගනුදෙනුකරුවන්ට විශේෂිත වාහන මාදිලි සඳහා රුපියල් 300,000ක් දක්වා විශේෂ වට්ටමක්, කිලෝමීටර් 300,000ක් දක්වා නොමිලේ වසර 5ක සර්විස් කිරීමේ සේවාවක් මෙන්ම කැබ් රථ හා 14 දෙනෙකුට අසුන් ගත හැකි කුඩා වෑන් රථ සඳහා වසර පහක වගකීමක් හා Jeep Gladiator රථ සඳහා වසර තුනක වගකීමක් ද ලබා දෙනු ඇත.

තවද, DIMO සමාගම අසමසම අලෙවියෙන් පසු සේවා ද සපයයි. ආනයනය කළ සියලූම DIMO වාහනවලට සමාගමේ වගකීම සහිත සෑම කිලෝමීටර් 10,000ක් සඳහාම අලූත්වැඩියා කිරීම් සේවාවක් සහ සෑම අලූත්වැඩියාවක් සඳහාම වසරක වගකීමක් ලබා දෙයි.

එමෙන්ම, නව ලීසිං ගනුදෙනුකාරභවතුන්ට මෝටර් රථ නිෂ්පාදන, සර්විස් කිරීමේ සේවා, අමතර කොටස්, ටයර් සහ බැටරි සඳහා විශේෂ වට්ටම් ලබා ගත හැකි HNB Prestige Prime ණයපතක් ලබා දෙනු ඇත. මෙම ණයපත පළමු වසරේ වාර්ෂික ගාස්තුවෙන් නිදහස් කර ඇත.

Mercedes-Benz සහ Jeep රථ සඳහා වන HNB DIMO ලීසිං ප‍්‍රවර්ධනය පිළිබඳ වැඩි විස්තර ඕනෑම HNB පාරිභෝගික සේවා මධ්‍යස්ථානයකින් ‘DIMO 800’ මධ්‍යස්ථානයේ 0772 44 97 97 ඇමතීමෙන් ලබා ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *