අධ්‍යාපන ආයතන මතින් තොර කරන්න ජනපති උපදෙසින් චක්‍රලේඛයක්

(කොළඹ, ලංකාපුවත්) – මත් උවදුර රටින් තුරන් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක ජාතික වැඩපිළිවෙළට සමගාමීව පාසල් සහ අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් අනෙකුත් සියලු අධ්‍යාපන ආයතන මතින් තොර පරිශ්‍ර බවට පත් කිරීම සඳහා කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධ උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

පාසල් ප්‍රමුඛ අනෙකුත් අධ්‍යාපන ආයතන මෙන්ම, අධ්‍යාපනික අවශ්‍යතා සඳහා යොදාගනු ලබන අනෙකුත් සියලු බාහිර පරිශ්‍ර මත්ද්‍රව්‍ය, මද්‍යසාර, දුම්කොළ ආශ්‍රිත අනෙකුත් නිෂ්පාදන හෝ මත්ද්‍රව්‍ය ආදේශක වශයෙන් යොදාගන්නා සියලු නිෂ්පාදන ප්‍රවර්ධනයට, භාවිත කිරීමට හෝ අලෙවියට ඉඩ දීම සපුරා වැළැක්වීමට ආයතන ප්‍රධානීන් මැදිහත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් මෙම චක්‍රලේඛය මගින් උපදෙස් ලබා දී තිබේ.

මීට අමතරව, මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් සිසුන් ඇතුළු ප්‍රජාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, ඒ සඳහා ආයතනික මට්ටමින් සම්බන්ධීකරණ කමිටු පිහිටුවීම ඇතුළු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙම චක්‍රලේඛය මගින් දැනුම්වත් කෙරෙන අතර, මෙරට දරුපරපුර මත් උවදුරෙන් මුදා ගැනීම වෙනුවෙන් වන ජාතික වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට මෙමගින් පිටුබලයක් සැලසෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *