කොරෝනා නිසා IPL නීති වෙනස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – එළඹෙන සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) විස්සයි20 ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිතයි.

මෙලෙස ඉන්දීය ක්‍රිකට් ආයතනය හඳුන්වා දී තිබූ අනුගමනය කළ යුතු නීති මාලාවක් ඉන්දියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය ඊයේ (30) සඳහන් කර තිබුණා.

ඒ අනුව තරගාවලිය ආරම්භ වීමට පෙර ක්‍රීඩකයන් සති දෙකක් නිරෝධායනය වී සිටිය යුතු අතර, කෝවිඩ්-19 පරීක්ෂණ හතරකටද සියලුම ක්‍රීඩකයන් පෙනී සිටිය යුතුයි.

කෙසේ වෙතත් තරග නැරඹීමට ප්‍රේක්‍ෂකයන්ට අවසර හිමි නොවන අතර, ක්‍රීඩක විවේකාගාරය තුළද ක්‍රීඩකයන් 15කට වඩා නොසිටිය යුතු වනවා.

එමෙන්ම විස්තර විචාරක කුටිය තුළද අඩි හයක පරතරයක් පවත්වාගත යුතුයි.

මෙහිදී ඉන්දීය ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, තරගයෙන් අනතුරුව පැවැත්වෙන ත්‍යාග ප්‍රදානෝත්සවය තුළදී සමාජ දුරස්ථභාවය අනිවාර්ය කරුණක් බවයි.

ඉන්දියන් එක්ස්ප්‍රස් වෙත අදහස් දක්වමින් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකු පවසා ඇත්තේ, ක්‍රීඩකයන් පමණක් නොව ඔවුන්ගේ භාර්යාවන් හෝ පෙම්වතියන් මෙන්ම කණ්ඩායම් හිමිකරුවන් පවා තරගාවලියට සහභාගි වනවා නම් නිරෝධායනය සඳහා වන සම්මතයන් අනුගමනය කළ යුතු බවයි.

කොදෙව් – එංගලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය සකස් කරන ලද සම්මතයන්ට අනුකූලව IPL බලධාරීන්ද ඉහත නීති සකස් කර තිබෙනවා.

ඒ අනුව ඉන්දියාවෙන් පිටත්ව යාමට පෙර පරීක්ෂණ දෙකක් හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිරෝධායන කාලය තුළ පරීක්ෂණ දෙකක් ලෙස සෑම ක්‍රීඩකයෙකුම කෝවිඩ්-19 පරීක්ෂණ හතරක් සඳහා පෙනී සිටිය යුතු වනවා.

සාමාන්‍යයෙන් IPL තරගාවලියේ සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයන් 20ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිටින අතර, සැලකිය යුතු සහායක කාර්යමණ්ඩලයක්ද සිටිනවා. කෙසේ නමුත් මෙවර නම් ලබාදී සිටින ක්‍රීඩකයන් වෙනස් කිරීමට කණ්ඩායම්වලට අවසර නැහැ. එමෙන්ම හෝටල්හි සේවකයන්ටද සිය රාජකාරී කිරීමට අවසර ලබාදෙන්නේ කෝවිඩ්-19 ඍණාත්මක බව සහතික කළ අයට පමණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *