එල්පීඑල් තරගාවලියේ මාර්ගෝපදේශ සැකසීම 12 දා අවසන්

(කොළඹ, ලංකාපුවත්) – ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සුප්‍රකට ප්‍රවර්ධන සමාගමක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අයි.පී.ජී. සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග්’ (එල්පීඑල්) විස්සයි20 ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට අදාළ මාර්ගෝපදේශ පිළියෙල කිරීම ලබන 12 වැනිදා වනවිට නිම කිරීමට හැකිවනු ඇතැයි ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

කොවිඩ් වසංගතයට අදාළ සෞඛ්‍ය උපදෙස් මත විදෙස් ක්‍රීඩකයන් ගෙන්වීම මුලික කරමින් පත් කළ එම කමිටුව පසුගිය 6 වැනිදා සිට දෛනිකව රැස්වෙමින් මාර්ගෝපදේශ සකස් කිරීම ආරම්භ කළ අතර, මේ වනවිට එය සාර්ථකව සිදුවෙමින් පවතින බව පුද්ගලයන් අටදෙනකුගෙන් සමන්විත එම කමිටුවේ සාමාජිකයකු ලෙස ද කටයුතු කරන ඈෂ්ලි ද සිල්වා මහතා කියා සිටියේය.

“බදාදා (12) වෙද්දී මේ වාර්තාව සකස් කිරීමේ කටයුතු නිමා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉදිරි කටයුතු ඒ අනුව සිදු වේවි.” ඈෂ්ලි ද සිල්වා මහතා සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විදෙස් සංචාරකයන්ට පනවනු ලැබූ කොවිඩ් නීතිරෙගුලාසි අනුව සෑම පුද්ගලයකුම දින 14ක කාලයක් නිරෝධායනය සඳහා යොමු කරන බැවින්, හැකි ඉක්මනින් තරගාවලියට අදාළ කටයුතු සියල්ල නිමා කිරිම ක්‍රිකට් ආයතනයේ අපේක්ෂාව වී තිබේ.

කෙසේ වෙතත් කාල සීමාවේ ගැටලු මතුවීම මත එම දින 14ක නිරෝධායන කාල සීමාව පීසීආර් පරීක්ෂණ ද ඇතුළත් වන පරිදි දින 7ක කාලයකට සීමා කිරීමට සෞඛ්‍ය බලධාරීන්ට යෝජනා කිරීමට මාර්ගෝපදේශ සකස් කිරීමේ කමිටුව බලාපොරොත්තු වන බව ද ඈෂ්ලි ද සිල්වා මහතා කියා සිටියේය.

මේ මස 28 වැනිදා සිට සැප්තැම්බර් මස 20 දක්වා පැවැත්වීමට නියමිත එල්පීඑල් තරගාවලියේ මෙහෙයුම් කටයුතු ඩුබායි නුවර කේන්ද්‍ර කරගත් ඉන්දීය ක්‍රිකට් ප්‍රවර්ධන සමාගමට පැවරීමේ ගිවිසුම් පසුගියදා අස්සන් කෙරුණු අතර, ඒ අනුව පළමු වසර දෙකක කාලයකදී වාර්ෂිකව අමෙරිකානු ඩොලර් මිලියන 2කට ආසන්න මුදලක් ක්‍රිකට් ආයතනයට හිමි වනු ඇත. ඉන් අනතුරුව ඉදිරි වසරවලදී සියයට දහයක වර්ධනයක් සිදු කෙරෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි. දෙපාර්ශ්වය අතර, වසර 5ක ගිවිසුමක් අස්සන් කර ඇත්තේ ඒ අනුවය. තරගාවලියේ රූපවාහිනි විකාශය සහ ක්‍රීඩාංගනයේ වෙළෙඳ දැන්වීම් ප්‍රදර්ශනය මඟින් ද ක්‍රිකට් ආයතනයට සියයට දහයක මුදලක් ලැබීමට නියමිත බව එම ආරංචි මාර්ග පවසයි.

තරගාවලියට අදාළ විනිසුරුවරුන් පත් කිරීම, ක්‍රීඩාංගණ මෙහෙයවීම, ආරක්ෂක කටයුතු සහ තරගාවලියේ ජීවගුණය පවත්වාගෙන යාමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අල්ලස් සහ දූෂණ විරෝධී ඒකකයේ නියෝජිතයන්ගේ දායකත්වය ලබා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදු කරනු ලැබේ. දූෂණයෙන් හා වංචාවෙන් තොරව තරගාවලිය පැවැත්වීම අරමුණු කරමින් එම නියෝජිතයන්ගේ සහාය ලබා දෙන ලෙස අයිසීසීයෙන් නිල වශයෙන් ඉල්ලා සිටීමට ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වෙයි.

කලම්බු සුපර් කිංග්ස්, ගෝල් ලයන්ස්, කැන්ඩි රෝයල්ස්, ජැෆ්නා සන්රයිසස් සහ දඹුල්ල කැපිටල්ස් වශයෙන් කණ්ඩායම් 5ක් එල්පීඑල් තරගාවලියට ඇතුළත් වන අතර, ඉදිරියේදී එම කණ්ඩායම් සංඛ්‍යාව වැඩි කිරීමටද තීරණය වී තිබේ. එම කණ්ඩායම් නියෝජනය කිරිමට දැනටමත් විදෙස් ක්‍රීඩකයන් සියයකට වැඩි පිරිසක් කැමැත්ත පළ කර ඇති අතර, දේශීය ක්‍රීඩකයන් ද සියයකට වැඩි පිරිසක් ඒ සඳහා උනන්දුවෙන් සිටිති.

ඉන්දීය ප්‍රිමියර් ලීග් මුහුණුවර අනුව පැවැත්වෙන මේ තරගාවලියට අදාළ කණ්ඩායම්වල හිමිකාරිත්වය අලෙවි කිරීමේ අයිතිය සහ ක්‍රීඩකයන් තේරීමේ අයිතිය ඩුබායි සමාගමට හිමි වී ඇති බැවින්, ඉදිරියේදී එම නම් ලැයිස්තුව ඔවුන්ට ඉදිරිපත් කිරීමට නියමිත බව ඈෂ්ලි ද සිල්වා මහතා සඳහන් කළේය. අනතුරුව ක්‍රීඩකයන් වෙන්දේසිගත කිරීම සිදු කෙරේ.

එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 16 දෙනකු ඇතුළත් වෙති. තරගාවලියේ නීතිරිතිවලට අනුව එක් කණ්ඩායමකට ශ්‍රී ලංකාව ද ඇතුළත්ව ජාත්‍යන්තර ක්‍රීඩකයන් 6 දෙනකු තෝරා ගැනෙන අතර, එක් ක්‍රීඩකයකුට හිමිවන මුදල ඩොලර් පනස්දහසකි. ඊට අමතරව තෝරාගනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිවිසුම්ගත දේශීය ක්‍රීඩකයන් සඳහා ඩොලර් දසදහසේ සිට පනස්දහස දක්වා මුදල් පිරිනැමෙන බවත්, එක් කණ්ඩායමකට තෝරාගනු ලබන විශේෂිත ක්‍රීඩකයාට හිමිවන මුදල් ප්‍රමාණය ඩොලර් හැට දහසක් බවත් වාර්තා වෙයි. එක් කණ්ඩායමකට අවුරුදු 19න් පහළ ක්‍රීඩකයකු ද ඇතුළත් වන අතර, ඔහුට හිමිවන මුදල් ප්‍රමාණය ඩොලර් පන්දහසකි. කණ්ඩායම්වල පුහුණුකරුවන්ට ඩොලර් දසදහසක් සහ විසිදහසක් අතර මුදලක් ද, කාර්ය මණ්ඩලයට ඩොලර් පන්දහසේ සිට පහළොස් දහසක් අතර මුදල් ප්‍රමාණයක් ද පිරිනැමෙන බව වාර්තා වෙයි.

බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ රටවල්වල ප්‍රබල ක්‍රීඩකයන් රැසක් එල්පීඑල් තරගාවලියට ක්‍රීඩා කිරීමට උනන්දුවෙන් පසු වන බව ද වාර්තා වෙයි. බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් ඒ සඳහා උනන්දුවෙන් පසු වන බවත්, මීට අමතරව ඇෆ්ගනිස්තානයේ අස්ගර් ඇෆ්ගන්, නවසීලන්තයේ මාටින් ගප්ටිල්, ටිම් සවුති, ඇඩම් මිල්නේ, සිම්බාබ්වේ පිලේ සිකන්දර් රාසා, ග්‍රෙහැම් ක්‍රීමර්, දකුණු අප්‍රිකාවේ වර්නන් ෆිලෙන්ඩර්, ටෙම්බා බවුමා වැනි ක්‍රීඩකයන් ද ඒ අතර, සිටින බවත් වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *