වාර්තා තබමින් අගමැති මහින්ද දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දහහතර වැනි අග්‍රාමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඵෙතිහාසික කැලණි රජමහා විහාරස්ථානයේ දී ඊයේ (09දා) දිවුරුම් දුන්නේය.

මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක අතිවිශිෂ්ට ජනවරමක් හිමි කර ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා වන මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කර මනාප 527,364ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ මෙරට ඉතිහාසයේ වැඩිම මනාප සංඛ්‍යාවක් ලැබූ අපේක්ෂකයා ලෙස වාර්තාවකට හිමිකම් කියමිනි. 1970 වසරේ දී එවකට පාර්ලිමේන්තුවේ ලාබාලතම මන්ත්‍රීවරයා වශයෙන් පාර්ලිමේන්තුවට පිවිසි මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට 50 වසරක දේශපාලන ඉතිහාසයකට හිමිකම් කියන අතර මේ වන විට ඔහු ජනාධිපති ධුරයේ දෙවරක් සහ අගමැති ධුරයේ සිවුවරක් දිවුරුම් දුන් පළමුවැන්නා ලෙසින් වාර්තාවකට ද හිමිකම් කියයි.

වසර 17ක් පැවැති එක්සත් ජාතික පක්ෂයේ දුර්දාන්ත පාලනය පෙරලා දමමින් පොදුජන එක්සත් පෙරමුණට 1994 වසරේ දී ආණ්ඩු බලය ලබාගැනීමට මහඟු මෙහෙවරක් කළ මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂයේ සිටිය දී සංවිධාන කළ පාද යාත්‍රා, ජන ඝෝෂා, මිනිස් දම්වැල් මෙරට දේශපාලන ඉතිහාසයේ නොමැකෙන ලෙස සටහන්ව පවතියි.

1994 වසරේ දී පළමු වරට කැබිනට් අමාත්‍යවරයකු ලෙස පත් වූ රාජපක්ෂ මහතා 2002 වසරේ දී විපක්ෂ නායක ධුරයට පත්විය. අනතුරුව 2004 වසරේ දී රාජපක්ෂ මහතා පළමු වරට අග්‍රාමාත්‍ය ධුරයට පත්විය.

2005 නොවැම්බර් මස 17 වැනි දින පැවැති ජනාධිපතිවරණය ජයග්‍රහණය කර පළමු වරට විධායක ජනාධිපති ධුරයට පත් රාජපක්ෂ මහතා නැවත වරක් 2010 වසරේ දී පැවැති ජනාධිපතිවරණයෙන් ද ජයග්‍රහණය කළේය. සිය පාලන කාලය තුළ වසර තිහක යුද්ධය නිමා කොට දැවැන්ත සංවර්ධනයක් රටට උදාකිරීමට රාජපක්ෂ මහතා සමත්විය.

2015 ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ රාජපක්ෂ මහතා නැවතත් විපක්ෂයේ භූමිකාවට පණ පොවමින් සිය සුපුරුදු සටන්කාමීත්වය පෙන්වීමට සමත් වූ අතර වසර පහක කාලයක දී යහපාලන ආණ්ඩුවේ පරාජය සනිටුහන් කරවමින් ජනාධිපති ධුරයට සිය සොහොයුරා වන ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කරලීමට සමත්විය.

2018 වසරේ ඔක්තෝබර් මස 16 දින එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන ලදී.

2019 ජනාධිපතිවරණයෙන් පසුව සිය සොහොයුරා ඉදිරියේදී තෙවන වරටත් අග්‍රමාත්‍ය ධුරයේ රාජපක්ෂ මහතා දිවුරුම් දුන්නේ සොහොයුරන් දෙපළක් ජනාධිපති අගමැති තනතුරුවලට පත්වීමේ ලෝක වාර්තාවකට ද හිමිකම් කියමිනි.

අග්‍රමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට මහින්ද රාජපක්ෂ මහතා ඵෙතිහාසික කැලණි පුදබිමට පැමිණියේ පෙරවරු 9.08ට පමණය. හේවිසි හඬ මැද පැමිණි රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහෝදර දේශපාලන නායකයන්, ඇමැතිවරුන් ඇතුළු පිරිස විසින් මහත් හරසරින් පිළිගනු ලැබිණි.

අනතුරුව උදෑසන 9.12ට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තියෙන් පසුව ජාතික ගීය ගායනා කරමින් අභිමානවත් දිවුරුම් දීමේ උත්සවය ආරම්භ කෙරිණි. කැලණිය රජමහා විහාරස්ථානයේ විහාර ගෙය ඉදිරිපිට තනා තිබුණු අලංකාර පීඨිකාව මත දී මහින්ද රාජපක්ෂ මහතා මෙරට අභිනව අග්‍රාමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ දිවුරුම් දුන්නේ උදෑසන 9.28ට පමණය.

දිවුරුම් දීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ මහතාට වැඳ ආශිර්වාද ලබාගත්තේ කුමන තනතුරු දැරුවත් සොහොයුරන් ලෙස පවතින බැඳීම ලොවට පෙන්වා දෙමිනි.

පසුව ජනාධිපතිවරයා සහ නව අග්‍රාමාත්‍යවරයා කැලණිය විහාරස්ථානය වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගත්තේ කැලණිය රජමහා විහාරාධිපති ආචාර්ය කොල්ලුපිටියේ සංඝරක්ඛිත නාහිමියන්ගේ මූලිකත්වයෙනි.

අනතුරුව කැලණිය විහාරයේ ප්‍රධාන පිවිසුම වෙත පැමිණි ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා රැස්ව සිටි ජනතාවට ආචාර කළේ මහත් වූ ජන ඝෝෂා මැදය.

මහා සංඝරත්නය ප්‍රධාන සර්වාගමික පූජ්‍ය පක්ෂයත් පළාත් ආණ්ඩුකාරවරුන්, කැබිනට් ඇමැතිවරුන්, පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්, විදෙස් තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 3 =