මත්තලින් භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවා ඇරැඹෙයි

(කොළඹ, ලංකාපුවත්) – වසර හතරහමාරක පමණ යහපාලන ආණ්ඩු සමයේ වී ගබඩා කිරීම සඳහා යොදා ගත් මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ යළිත් වරක් අන්තර් ජාතික මට්ටමේ මගී ගුවන් මෙහෙයුම් සහ දැවැන්ත භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවා ආරම්භ කරයි.

ඒ අනුව එම ගුවන් මෙහෙයුම් කටයුතු ඊයේ (09) සිට ක්‍රියාත්මක වන පරිදි ආරම්භ කරන ලද අතර පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ දී පාඩු ලැබීම හේතුවෙන් විකිණීමට සූදානම් වූ මෙම ගුවන්තොටුපළ යළිත් වරක් මේ රටේ ආර්ථික ක්‍රියාවලියට හවුල්කර ගනිමින් මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බවද එම මෙහෙයුම් කටයුතු ඉදිරියේ දී දිනපතා සිදු වන බවද මත්තල ගුවන්තොටුපළේ කළමනාකාර උපුල් කලන්සූරිය මහතා ‘දිනමිණ‘ ට පැව­ැසීය. අමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා රටවල් සඳහා ගුවන් භාණ්ඩ ප්‍රවාහන කටයුතු ඊයේ (09දා) සිට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ආරම්භ කරන ලද අතර ටොන් 28 ක භාණ්ඩ රැගත් එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානය ඊයේ (09) පස්වරුවේ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමත් සමඟ මෙම ගුවන් භාණ්ඩ මෙහෙයුම් කටයුතු ආරම්භ වූ බවද ඒ මහතා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රමුඛතම ගුවන් සේවා රැසක් මේ වන විට මත්තල ගුවන් තොටුපළ හරහා සිදුවන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ඩුබායි සිට මඟීන් 422 ක් සමඟ ඊයේ පස්වරු 4.30 ට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානාව පළමු භාණ්ඩ ගුවන් යානාව ලෙස ඇමෙරිකාව බලා පිටත්ව ගිය බවද එමිරේට්ස් ගුවන් සේවය මත්තල ගුවන් තොටුපළ ඉතිහාසයේ පළමුවරට ගුවන් භාණ්ඩ තොගයක් අමෙරිකා එක්සත් ජනදපය දක්වා මෙලෙස රැගෙන ගිය බවද පැවසීය.

යහපාලන රජය බලයට පැමිණිමෙන් පසු 2015 වසරේ සැප්තැම්බර් මස 02 වැනිදින මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළ පරිශ්‍රයේ පිහිටි ගුවන් භාණ්ඩ බහලුම් සංකීර්ණයේ වී ගබඩා කිරීමට එවකට යහපාලන රජය තීරණය කළ අතර ඒ වෙනුවෙන් දැඩි විරෝධයක් ද එල්ල විය. ඒ අනුව වසර පහකට ආසන්න කාලයක් අක්‍රියව පැවැති මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් නැවත සක්‍රිය ගුවන් මෙහෙයුම් සඳහා දායකකර ගන්නා ලදී.

පසුගිය ජූනි සහ ජූලි මාසවල දී පමණක් මෙම ගුවන් තොටුපළින් ගුවන් ගමන් වාර 70 ට අධික ප්‍රමාණයක් මෙහෙයවමින් ගුවන් මඟීන් 2,500 ට අධික පිරිසකට සේවා සැපයීමට මේ ජාත්‍යන්තර ගුවන් තොටුපළට හැකියාව ලැබුණු බවද ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා සහ විදේශ ගුවන් යානා රැසක් මේ කාලයේ දී මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණීම විශේෂත්වයක් බවද උපුල් කලන්සූරිය මහතා පෙන්වා දුන්නේය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගෙන් පළිගැනීම පමණක් අරමුණු කරගත් යහපාලන ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ පරිශ්‍රයෙහි ඇති එක්ස්රේ ස්කෑනින් යන්ත්‍ර, අධි තාක්ෂණික ගිනි සංවේදිත උපකරණ, වායු සමීකරණ යන්ත්‍ර, අධි ශීතකරණ කාමර සහිත රුපියල් කෝටි 200 කට අධික වටිනාකමින් යුත් ගොඩනැගිල්ලේ වී ගබඩා කිරීම සිදුවිය.

2009 වසරේ දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ ඉදිකිරීම් ඇරඹූ ශ්‍රී ලංකාවේ තෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ විවෘත කෙරුණේ 2013 වසරේ මාර්තු මස 18 වැනි දින එවකට ජානධිපති හා වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

සම්පූර්ණයෙන් වැඩ නිමවූ පසු හේක්ටයාර 2,000 තරම් වන මෙම ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සම්පූර්ණ වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 210 ක් ලෙස ඇස්තමෙන්තු කර තිබෙන අතර මෙම ජාත්‍යන්තර ගුවන් තොටුපළ නවතම ‘එයාබස්‘ ගුවන්යාන ගොඩබෑස්වීමේ පහසුකම්වලින් ද සමන්විත වෙයි. කර්යබහුල වේලාවන් හිදි විදේශිකයන් 800 කටත් දේශීය මගින් සැලිකිය යුතු ප්‍රමාණයකට ගොඩනෑගිල්ලේ ඉඩ පහසුකම් සපයා දිය හැකි අතර විදේශිය මෙන්ම දේශිය ගුවන් ගමන් සඳහා ද යොදා ගතහැකි පරිදි සකස් වන මෙය හම්බන්තොට වරාය හා එක්ව බඩුබාහිරාදිය හුවමාරු හා ප්‍රවාහනය කිරීමට පහසුකම් සපයා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *