ජාතික මාර්ග පද්ධතිය තුළ දැවැන්ත සංවර්ධනයක් සිදුකිරීමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රට හදන සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති මාලාව අනුව යමින් ජාතික මාර්ග පද්ධතිය තුළ දැවැන්ත සංවර්ධනයක් සිදු කරලීමට බලාපොරොත්තු වන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ බත්තරමුල්ල, මග නැගුම මහ මැදුරේදී සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අද(14) සහභාගි වෙමිනි.

ජාතික මාර්ග පද්ධතියට කිලෝ මීටර් ලක්ෂයක් ඉදි කිරීමේ ජාතික සංවර්ධන වැඩසටහන කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමග සහයෝගයෙන් යුතුව කටයුතු කරමින් මාර්ග සංවර්ධන ව්‍යාපෘති වඩාත් විධිමත් අයුරින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව නිමල් ලාන්සා මහතා සදහන් කළේය.

2015 න් පසු අතර මග නතර වූ මාර්ග සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කරමින් ජනතාවට වඩාත් සුව පහසු මාර්ග පද්ධතියක් දායාද කිරීම සදහා සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති මාලාව අනුව යමින් කටයුතු කරනවා.ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේදී උසස් ප්‍රමිතියකින් හා අවම පිරිවැයකින් යුතුව සිදු කිරීමට බලාපොරොත්තු වන බව නිමල් ලාන්සා මහතා මෙහිදී පැවසීය.

ග්‍රාමීය මාර්ග සංවර්ධනය හා ජාතික මාර්ග පද්ධතිය තුළ දැවැන්ත සංවර්ධනයක් සිදු කරමින් නිෂ්පාදන ආර්ථිකය වඩාත් ශක්තිමත් කිරීමට අවශ්‍ය දායකත්වය ලබා දීම සිය අරමුණ බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට මහාමාර්ග කැබිනට් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසන්ත පුංචිනිලමේ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ, මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්. ප්‍රේමසිරි, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතුලුවගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − five =