ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් කරුණු පැහැදිලි කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAAC) විසින් කොළඹ-ෂැංහයි ශ්‍රීලංකන් ගුවන් මෙහෙයුම් සති හතරක කාලයක් තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය මෙසේ කරුණු පැහැදිලි කර සිටියි.

2020 අගෝස්තු මස 7 වන දින ශ්‍රීලංකන් ගුවන් සේවය ඩුබායි සිට කොළඹ හරහා ෂැංහයි දක්වා චීන ජාතිකයින් 223 ක් රැගත් විශේෂයෙන් වෙන්කරවා ගත් ගුවන් යානාවක් (charter flight) ක්‍රියාත්මක කළේය. මෙම ගුවන් ගමනට පෙර ශ්‍රීලංකන් ගුවන් සේවය ඩුබායි සිට ෂැංහයි දක්වා මේ හා සමාන ගුවන් ගමන් දෙකක් ක්‍රියාත්මක කළ අතර එහි කිසිදු COVID පරීක්ෂණය ධනාත්මක වූ පුද්ගලයින් සිටි බව වාර්තා නොවීය.

අගෝස්තු මස 7 වන දින ක්‍රියාත්මක වූ මෙම විශේෂ ගුවන් ගමනේ සංවිධායකවරුන් විසින් සියළුම මගීන්ට දේශීය පිළිගත් ආයතනයකින් COVID PCR පරීක්ෂණය ලබා ගන්නා ලෙස අවධාරනය කළ අතර අනෙකුත් ප්‍රමුඛ ජාත්‍යන්තර ගුවන් සමාගම් විසින් ද භාවිත කරනු ලබන ක්‍රමවේදයට අනුව ගුවන් යානයේ සිටි මගීන් 223 දෙනා සඳහා PCR පරීක්ෂණ සිදු කරනු ලැබීය. මෙම පරීක්ෂණ ක්‍රියාවලිය ගුවන් යානයට ගොඩවීමට පැය 72 කට පෙර සිදු කරන ලද අතර එහි දී සෘණාත්මක පරීක්ෂණ ප්‍රතිඵල පෙන්වූ සියලු මගීන්ට ගුවන් යානයට ගොඩවීමට අවසර ලබාදෙන ලදී.

මෙම ක්‍රියාවලිය ඩුබායි සිට චීනය බලා පියාසර කිරීම සඳහා අනිවාර්ය අවශ්‍යතාවයක් ලෙස නොසැලකූ අවස්ථාවක පවා මගීන් සහ කාර්ය මණ්ඩලය සඳහා ගනු ලබන ආරක්ෂිත පියවරක් ලෙස මෙම පරීක්ෂණ සිදු කරන ලදී.

කෙසේ වෙතත් මෙලෙස ආරක්ෂිත පියවරයන් ගත් නමුත් එම ගුවන් යානයේ පියාසර කළ මගීන් 25 දෙනෙකු චීනයට පැමිණි පසු COVID පරීක්ෂණය ධනාත්මක වූ බව චීන බලධාරීන් පසුව තහවුරු කරගන්නා ලදී.

COVID – 19 ව්‍යාප්ත වීමෙන් පසු, චීනයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAAC) විසින් 5-1 ප්‍රතිපත්තිය නමින් නව ප්‍රතිපත්තියක් හඳුන්වා දී ඇති අතර එහි සඳහන් ගුවන් සීමාවන්ට අනුව චීනයේ එක් ස්ථානයකට සතියකට එක් ගුවන් ගමන් වාරයක් පමණක් සිදු කිරීමට අවස්ථාව හිමිවේ.

මෙම නව ප්‍රතිපත්තියට අනුකූලව කටයුතු කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවය එක්සත් රාජධානියේ සහ ඩුබායි සිට චීනය දක්වා චීන මගීන් 3000 කට වැඩි පිරිසක් සඳහා ගුවන් පහසුකම් සපයමින් එවැනි විශේෂ ගුවන් ගමන් 15 ක් ක්‍රියාත්මක කර තිබේ.

CAAC නව ප්‍රතිපත්තියට අනුව, ගුවන් යානයක COVID ධනාත්මක වීම් අවස්ථා පහකට වඩා තිබේ නම් තාවකාලික ගුවන් ගමන් අත්හිටුවීම් සිදු කරනු ලැබේ. ඒ අනුව අගෝස්තු මස 7 වන දින ක්‍රියාත්මක වූ ශ්‍රීලංකන් විශේෂ ගුවන් යානයේ සිටි මගීන් 23 දෙනෙකු COVID පරීක්ෂණය ධනාත්මක වී ඇති අතර, එම නිසා නව රෙගුලාසි වලට අනුව CAAC විසින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් සති හතරක් තාවකාලිකව අත්හිටුවන ලදී.

ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කිසිදු බලපෑමකින් තොරව ක්‍රියාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *