අංගොඩ ලොක්කාගේ ඇඟිලි සළකුණු සහ දෙමාපියන්ගේ රුධිර සාම්පල ඉන්දියාවට

(කොළඹ, ලංකාපුවත්) – අංගොඩ ලොක්කා ඉන්දියාවේදී සැබෑ ලෙසම මිය ගියේද නැද්ද යන්න තහවුරු කර ගැනීම සදහා ඔහුගේ ඇගිලි සළකුණු සහ දෙමාපියන්ගේ රුධිර සාම්පල ඉන්දීය ආරක්ෂක අංශ වෙත මේ වන විටත් යොමු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වාර්තා කරන්නේ 2014 වසරේ ඔහු අත්අඩංගුවට පත් අවස්ථාවේ ලබාගත් ඇගිලි සළකුණු ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හරහා මෙසේ ලැබී ඇති බවයි.

මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා මෙරට ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකි. ඔහු ඉන්දියාවේ කොයිම්බතූර්හිදී විෂ ශරීරගත වීමකින් මිය ගිය බවට ඉන්දීය මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබුනි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ඒ බව මෙතෙක් තහවුරු කළේ නැහැ. ඒ එසේ මියගියේ අංගොඩ ලොක්කාමදැයි විද්‍යාත්මක සාක්ෂි මත කරුණු තහවුරු නොවීම හේතුවෙනි.

අංගොඩ ලොක්කාගේ ඇගිලි සළකුණු සහ ඔහුගේ දෙමාපියන්ගේ රුධිර සාම්පල ඩීඑන් ඒ පරික්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව ඔහු නියත වශයෙන්ම මිය ගොස් ඇද්ද යන්න පිළිබද සනාථ කර ගැනීමට හැකිවනු ඇත. අංගොඩ ලොක්කාගේ ඝාතනය සම්බන්ධයෙන් ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ඔහුගේ පෙම්වතිය ඇතුළු සැකකරුවන් ඊයේ අධිකරණයට ඉදිරිපත් කෙරුණි. පෙම්වතිය බව කියන අමානි ධංජි, මදුරෙයි හි පදිංචි සිවකාමී සුන්දරී සහ ඇයගේ සහායක තියානේෂ්වරන් යන මෙම සැකකරුවන් යළි අනිද්දා දිනයේදී ඉන්දීය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

විෂ ශරීරගත කිරීමට අමතරව අංගොඩ ලොක්කාට නම වෙනස් කර ඉන්දියාව තුළ ව්‍යාජ නමකින් පෙනී සිටීමට අදාළ කූඨ ලේඛණ සකස් කර දීම ඔවුන්ට එරෙහි චෝදනාවයි. ප්‍රදීප් සිං ලෙස ඔහු ඉන්දියාව තුළ පෙනී සිට ඇති බවත්, ඒ නමින්ම ඔහුගේ සිරුර ආදාහනය කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කලේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *