අගමැති ධුරයෙහි වැඩ භාරගෙන අනුරාධපුර සිද්ධස්ථාන වැඳපුදා ගනියි

(කොළඹ, ලංකාපුවත්) – මහා මැතිවරණයේ දී ලැබූ විශිෂ්ට ජනවරමට අනුව කැලණිය රජ මහා විහාරයේ දී අගමැති ධුරයෙහි දිවුරුම් දී එම ධුරයෙහි වැඩ භාර ගැනීමෙන් පසු ඊයේ (13) දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, රුවන්වැලි සෑ රදුන් ඇතුළු සිද්ධස්ථාන වැඳපුදා ගෙන මහා සංඝ රත්නයේ ආශීර්වාද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ලබා ගත්තේය.

ඊයේ පෙරවරුවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගෙන ආශීර්වාද ලබා ගැනීමෙන් පසු අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැ දැක ආශීර්වාද ලබා ගත්තේය.

මෙහි දී විශේෂ අනුශාසනාවක් සිදු කළ උතුරු මධ්‍යම දිසාවේ අධිකරණ සංඝනායක ලංකාරාම විහාරවාසී රළපනාවේ ධම්මජෝති හිමි සඳහන් කළේ 2015 ජනතාව අතින් සිදු වූ වැරැද්ද බහුතර බලයක් ලබා දී මෙවර නිවැරදි කිරීමට ජනතාවම කටයුතු කර ඇති බවය.

ජනතාව ඔවුන්ගේ යුතුකම ඉටු කළ ආකාරයෙන්ම රජය ජනතාවට යුතුකම් ඉටු කළ යුතු යුගය එළඹී ඇති බවත් රටට අහිතකර ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් සම්මත කර ජනතා අභිලාෂය ඉටුකිරීම රජයේ වගකීම බවත් උන්වහන්සේ පැවසූහ.

ඈත ගම්මානවල අහිංසක ජනතාව සෑම විටම අග්‍රාමාත්‍යවරයා රට ජාතිය ආගම ආරක්ෂා කරන බවට විශ්වාසයෙන් සිටින අතර එම විශ්වාසය මින් ඉදිරියටත් ආරක්ෂා කරගත යුතුව තිබෙන බව ද එහිමියන් පෙන්වා දුන්හ.

නායකත්වයට පත් වූ සෑම අවස්ථාවක දීම මා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ආශීර්වාද ලබා ගැනීමට අමතක නොකළ බව සිහිපත් කළ ආචාර්ය පල්ලේගම හේමරතන නාහිමියන් එය මෙරට යුග පුරුෂයින්ගේ ලක්ෂණයක් යැයි ද අවධාරණය කළහ.

අනතුරුව රුවන්වැලි සෑ රඳුන් වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබා ගෙන රුවන්වැලි සෑ චෛත්‍යරාමාධිකාරී, රජරට නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රවේදී පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගතිමි.

මිරිසවැටිය මහා විහාරයට පැමිණ සෑ රඳුන් වැඳපුදා ගෙන මිරිසවැටිය මහා විහාරාධිකාරි ඊතලවැටුණු වැවේ ඥානතිලක නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගත්තේ ඉන් අනතුරුවය.

අනතුරුව අනුරාධපුර ජයන්ති මහා විහාරය වෙත පැමිණි ජයන්ති මහා විහාරාධිපති උතුරු,උතුරු-මැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පණ්ඩිත නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *